Loading...

ශ්‍රීලනිප ප්‍රශ්ණ විසඳන්න අපිට නීතිමය බලයක් නෑ – මැතිවරණ කොමිසම

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ පවතින අභ්‍යන්තර ගැටළු විසඳීමට සිය කොමිසමට කිසිඳු නෛතික බලයක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් මැතිවරණ කොමිසම වෙත ලබාදුන් තීන්දු හා ලේඛන ඊයේ (18) දිනයේ දී එහි සාමාජිකයින් විසින් සාකච්ඡාවට ලක්කර ඇති බව වාර්තා වනවා.

පසුගිය 08 වනදා පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් එහි දේශපාලන මණ්ඩලය රැස්වී පක්ෂයේ නව වැඩබලන සභාපතිවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා මහතා පත්කරගත් අතර මහලේකම් ධුරයේ ක්‍රියා කිරීමට දුමින්ද දිසානායක මහතා වෙත බලය පවරා ලැබුවා.

අදාළ පත්කිරීම් සම්බන්ධ තොරතුරු හා ලේඛන දුමින්ද දිසානායක මහතා විසින් මැතිවරණ කොමිසම වෙත භාරදීමෙන් අනතුරුව පක්ෂයේ වැඩබලන මහලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහතා ද නව පත් කිරීම් සම්බන්ධයෙන් කොමිසම හමුවේ විරෝධතා ගොනු කළා.

මේ අනුව ඊයේ (18) රැස්වූ මැතිවරණ කොමිෂන් සභාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශව දෙකක් විසින් ඉදිරිපත් කර ඇති කරුණු සම්බන්ධව අවධානය යොමුව තිබුණා.

සාමාන්‍ය නෛතික වපසරිය සහ ක්‍රියා පටිපාටිය තුළ නිදහස් පක්ෂය තුළ හටගෙන ඇති අභ්‍යන්තර ගැටළු විසඳීමට මැතිවරණ කොමිෂන් සභාවට නෛතික බලයක් නොමැති බවයි එම කොමිසමේ මතය වී ඇත්තේ.

මැතිවරණ කොමිසම පෙන්වා දෙන්නේ පවතින ගැටළු පක්ෂයේ ක්‍රියාකාරීන් විසින් අධිකරණය හරහා විසඳාගත යුතු බවයි.

ඕනෑම පක්ෂයක අභ්‍යන්තර අර්බුද සඳහා අතපෙවීමට හෝ ඒ සඳහා ක්‍රියාමාර්ග ගැනීමට මැතිවරණ කොමිෂන් සභාවට කිසිඳු නීතිමය අවස්ථාවක් නොමැති බවද එහි ප්‍රකාශයෙකු සඳහන් කර සිටිනවා.

මේ වන විට නිදහස් පක්ෂයේ තනතුරු සහ පාර්ශව සම්බන්ධව පවතින අර්බුදය අධිකරණය හමුවේ විභාග වන බැවින් ඉන් ලබාදෙන නියෝග හෝ නිර්දේශ පිළිගැනීමට පමණක් මැතිවරණ කොමිෂන් සභාවට හැකියාවක් පවතිනවා.

මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ යම් හෙයකින් ඉදිරියේදී මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරිමෙන් අනතුරුවත් නිදහස් පක්ෂයේ අභ්‍යන්තර අර්බුද පැවතුණ හොත් ඔවුන්ට නාමයෝජනා ලබාදෙන්නේද යන්න සම්බන්ධයෙන් සලකා බලා මැතිවරණ ක්‍රියාවලිය යටතේ පමණක් යම් තීන්දුවක් ගැනීමට සිදුවන බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *