ලංකාවේ ජීවත් වූ උසම සහ දැවැන්තම දළ ඇතා වූ ‘කාවන්තිස්ස’ හස්තියාගේ මරණය පිළිබඳව කරුණු පැහැදිලි කිරීමට 2026 ඔක්තෝබර් 17 වන දින වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කැඳවා තිබූ මාධ්ය සාකච්ඡාව, වනජීවී බලධාරීන්ගේ නොහැකියාව සහ උද්දච්චභාවය රට හමුවේ ප්රදර්ශනය කළ අවස්ථාවක් විය. වනජීවී අධ්යක්ෂ ජනරාල් රන්ජන් මාරසිංහ, වනජීවී සෞඛ්ය නියෝජ්ය අධ්යක්ෂ පශු වෛද්ය ගංගා විජේසිංහ සහ අනුරාධපුර කලාප භාර පශු වෛද්ය චන්දන ජයසිංහ යන නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම හමුවේදී, බරපතල ඛේදවාචකයක් ඉදිරියේ සිනාසෙමින්, මූලික දත්ත පවා නොදැන, එකිනෙකාට පරස්පර ප්රකාශ සිදු කරමින් වගකීමෙන් ලිස්සා යාමට දැරූ උත්සාහය කැපී පෙනුණි.
මාධ්ය හමුවේදී හෙළිදරව් වූ බලධාරීන්ගේ බරපතල නොහැකියාව සහ පරස්පරතා 5ක්
මාධ්යවේදීන් දිගින් දිගටම නැගූ ප්රශ්න හමුවේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළම පුටුවල සිටින නිලධාරීන්ගේ සැබෑ තත්ත්වය කරුණු පහක් ඔස්සේ මනාව තහවුරු විය:
- රටේ ඉන්න අලි ඇතුන් සහ දළ ඇතුන් ගණනවත් නොදන්නා වනජීවී අධ්යක්ෂ ජනරාල්වරයෙක්: කාවන්තිස්ස වැනි සුවිශේෂී දළ ඇතුන් තවත් කී දෙනෙකු වනයේ ජීවත් වන බවට හඳුනාගෙන ඇත්ද සහ ලංකාවේ සමස්ත දළ ඇතුන් සංඛ්යාව කොපමණද යන්න මාධ්යවේදියෙකු සෘජුවම ප්රශ්න කළේය. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්රධානියා ලෙස අධ්යක්ෂ ජනරාල්වරයා ලබා දුන්නේ “ඒක මට දැන් කියන්න බැහැ” යන වගකීම් විරහිත පිළිතුරයි. 2012 වසරට සාපේක්ෂව සියයට දහයක (10%) පමණ සමානුපාතික වැඩිවීමක් ඇතැයි අනුමාන වශයෙන් පැවසූ ඔහු, නිශ්චිත සංඛ්යාව පර්යේෂණ පත්රිකාවක් බලා පසුව ලබා දෙන බව පවසමින් ලිස්සා ගියේය.
- අලි පහරදීම්වලින් මියයන මිනිස් මරණ ගණන පිළිබඳවත් යාවත්කාලීන දත්ත නැත: පසුගිය වසරේ සහ මේ වසරේ මේ දක්වා අලි ඇතුන් කී දෙනෙකු හා මිනිසුන් කී දෙනෙකු මියගොස් ඇත්දැයි විමසූ විට, ඔක්තෝබර් මාසයේ පැවැත්වෙන මාධ්ය හමුවට පැමිණි අධ්යක්ෂ ජනරාල්වරයා සතුව තිබුණේ සැප්තැම්බර් මාසය දක්වා වූ දළ සාරාංශයක් (Summary) පමණි. එම අසම්පූර්ණ ලේඛනය කියවා ගැනීමට පවා අපහසුවෙන් ගොත ගසමින්, 2026 සැප්තැම්බර් වන විට අලි මරණ 246ක් සහ මිනිස් මරණ 118ක් වාර්තා වී ඇති බවත්, පසුගිය වසරට (මිනිස් මරණ 121) වඩා මේ වසරේදී මිනිස් මරණ 3ක් අඩු වී ඇති බවත් පවසමින් එය ජයග්රහණයක් ලෙස හුවා දැක්වීමට ඔහු උත්සාහ කළේය.
- අධ්යක්ෂ ජනරාල් “සියලු පහසුකම් හා ප්රතිපාදන තියෙනවා” කියද්දී, වෛද්ය ගංගා X-Ray යන්ත්ර නැති බව හෙළි කරයි: දෙපාර්තමේන්තුව මෙතරම් දුප්පත්දැයි මාධ්යවේදීන් ප්රශ්න කළ විට, අධ්යක්ෂ ජනරාල්වරයා පුරසාරම් දෙඩුවේ තමන්ට කිසිදු මුදල් හෝ උපකරණ හිඟයක් නොමැති බවත්, ඕනෑම හදිසි දෙයක් මිලදී ගැනීමට අමාත්යාංශ ලේකම්වරයාගේ සිට සියලු දෙනාගේ සහාය හා ප්රතිපාදන ඇති බවත්ය. එහෙත්, වෙඩි වැදුණු ඇතාගේ සිරුර ස්කෑන් හෝ X-ray පරීක්ෂණයකට ලක් කළේදැයි විමසූ විට වෛද්ය ගංගා විජේසිංහ මහත්මිය හෙළි කළේ ඇතෙකුගේ සිරුර විනිවිද පරීක්ෂා කළ හැකි විශාල X-ray හෝ ස්කෑන් යන්ත්ර දෙපාර්තමේන්තුව සතුව නොමැති බවයි. ඒ සඳහා මුදල් වෙන් කර දීර්ඝ කාලයක් ගතවී ඇතත් අදාළ යන්ත්ර මෙරටට ගෙන්වා දීමට බලධාරීන් අසමත් වී ඇති බව එහිදී මනාව පැහැදිලි විය.
- මුදල් වෙන් කර වසර ගණනක් ගතවුවද ‘අලි රෝහල’ සහ ‘ජංගම සත්ව රෝහල’ තවමත් කඩදාසියට පමණක් සීමා වීම: දිනකට එක් අලියෙකුට වඩා මියයන රටක, වෙඩි වැදී හෝ අනතුරුවලට ලක්ව අසාධ්ය වන වන අලින්ට ක්ෂේත්රයේදී හෝ රෝහල්ගතව ප්රතිකාර කිරීම සඳහා යෝජිත ‘අලි රෝහල’ (Elephant Hospital) සහ ‘ජංගම සත්ව රෝහල’ (Mobile Animal Hospital) සඳහා මුදල් වෙන් කර කොපමණ කලක් ගතවී ඇතත්, මේ දක්වා ඉන් එකක් හෝ ස්ථාපිත කිරීමට දෙපාර්තමේන්තුව අසමත් වී තිබේ. ඒ වෙනුවට අධ්යක්ෂ ජනරාල්වරයා නිදහසට කරුණු කීවේ “මේක තියටර් එකකට (Operating Theater) ගෙනැල්ලා කරනවා වගේ එකක් නෙවෙයි, කැලේ ඇතුළේ ප්රායෝගික සීමාවන් තියෙනවා” යනුවෙනි.
- “අපි අවුරුදු 45ක් මේ සතාව බලාගත්ත එකද වැරැද්ද?” – බලධාරීන්ගේ උද්දච්ච තර්කය: කාවන්තිස්ස ඇතාට මීට පෙරද වෙඩි වැදී තිබියදී සහ වසරකට පෙර සිටම ජීවිත තර්ජන පවතින බවට පරිසරවේදීන් අනතුරු අඟවා තිබියදී, අඩුම තරමින් GPS කරපටියක් (GPS Collar) හෝ පළඳවා ආරක්ෂා කර නොගත්තේ මන්දැයි මාධ්යවේදීහු දැඩිව ප්රශ්න කළහ. එහිදී තම වරද පිළිගෙන නිහතමානී වීම වෙනුවට අධ්යක්ෂ ජනරාල්වරයා පෙරළා ප්රශ්න කළේ “මේ සතාට අවුරුදු 45කට වඩා වයසයි, සාමාන්යයෙන් කැලේ උපරිම ඉන්නේ අවුරුදු 50ක් 60ක්. මිනිස් වයසෙන් ගත්තොත් අවුරුදු 80ක් විතර. එතකොට මෙච්චර කාලයක් අපි මේ සතාව ආරක්ෂා කරගෙන තියාගත්ත එකද වැරැද්ද? මේක ෆේලියර් (Failure) එකක් කියලා මට පිළිගන්න බැහැ” යනුවෙනි. වෙඩි වැදී ප්රතිකාර ලබමින් සිටියදී මියගිය ඇතෙකුගේ මරණය පවා තම දෙපාර්තමේන්තුවේ “සාර්ථකත්වයක්” ලෙස අර්ථකථනය කිරීමට තරම් ඔහු නිර්ලජ්ජිත විය.
ප්රතිකාර ක්රියාවලිය පිළිබඳව මාධ්ය හමුවේදී කියැවුණු කරුණු සහ එහි ඇති බරපතල හිදැස්
පශු වෛද්ය අංශ විසින් ඉදිරිපත් කළ ප්රතිකාර කාලරාමුව තුළම ඔවුන්ගේ සායනික සහ කළමනාකරණ දුර්වලතා රැසක් හෙළිදරව් විය:
- පළමු පැය 24-48 (Golden Hour) තුළ සාමාන්ය ප්රතිකාරයකට සීමා වීම: සැප්තැම්බර් 23 සිදුවීම වාර්තා වී සැප්තැම්බර් 24 ප්රතිකාර ඇරඹුවද, මෙවැනි සුවිශේෂී ඇතෙකු වෙනුවෙන් පළමු පැය 24–48 තුළ කිසිදු විශේෂ පූර්ව ආරක්ෂණ සැලැස්මක් (Preventive plan) ක්රියාත්මක කර නැත. පළමු වර නිද්රාශීලී කළ අවස්ථාවේදී රුධිර හා මළපහ සාම්පල ගත්තද, වකුගඩු හා අභ්යන්තර ක්රියාකාරීත්වය මැන බැලීමට මුත්රා වාර්තාවක් (Urine report) හෝ ලබා නොගත් බව වෛද්යවරු පිළිගත්හ.
- තුවාලය සුව වූ පසු හදිසියේ පාචනය හැදුණේ කෙසේදැයි වෛද්යවරුන්ම නොදැන සිටීම: Ceftriaxone සහ Long-acting Amoxicillin යන ප්රතිජීවක ලබා දීමෙන් පසු ඔක්තෝබර් 7–8 වන විට තුවාලය සුව වී ඇතා සාමාන්ය පරිදි ආහාර ගත් බව නිලධාරීහු පවසති. එහෙත් ඔක්තෝබර් 12 වන විට ඇතාට උග්ර පාචන තත්ත්වයක් (Diarrhea) ඇතිවී ආහාර ගැනීම නතර කිරීමට හේතුව කුමක්දැයි ඇසූ විට, අධ්යක්ෂ ජනරාල්වරයා පැවසුවේ “අපි දන්නේ නැහැ ඒ අතර සිද්ධ වෙච්ච එක මොකක්ද කියන එක, පෝස්ට්මෝටම් (Post-mortem) එකෙන් තමයි බලාගන්න පුළුවන්” යනුවෙනි.
- “පැය 24ම වැඩ කරනකොට අත්වැරදීම් වෙන්න පුළුවන්” – වෛද්ය නොසැලකිල්ල සාධාරණීකරණය කිරීම: මීට පෙර මියගිය ‘භාතිය’ ඇතාට සහ ‘කාවන්තිස්ස’ ඇතාට ප්රතිකාර කිරීම සම්බන්ධයෙන් එකම පශු වෛද්යවරයෙකුගේ නම කියැවෙන බවත්, එහිදී වෘත්තීය නොසැලකිල්ලක් (Professional negligence) හෝ අතපසුවීමක් සිදුවී ඇත්දැයි පරීක්ෂණයක් කරන්නේදැයි මාධ්යවේදීහු විමසූහ. එහිදී තම නිලධාරීන් ආරක්ෂා කරමින් අධ්යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ “දැන් තියෙන පීඩනය හින්දා පැය 24 වැඩ කරනවා. ඉතින් ඒ හින්දා මම හිතන්නේ අත්වැරදීම් වෙන්න පුළුවන්. නමුත් හිතාමතාවත් එහෙම වෙන්නේ නැහැ” යනුවෙනි.
- ඇතා මරණාසන්න වන තුරුම විදෙස් විශේෂඥ සහාය පමා කිරීම: සැප්තැම්බර් 24 සිට ඔක්තෝබර් 12 දක්වාම විදෙස් විශේෂඥයන් ගෙන්වා ගැනීමට කටයුතු නොකළ බලධාරීන්, රසායනාගාර වාර්තා ලබා ගත්තේද ඇතා මියයාමට දිනකට පමණ පෙර (“පෙරේදා වගේ දවසක”) බව අධ්යක්ෂ ජනරාල්වරයාගේම වචනවලින් කියැවිණි. රාජ්ය තාන්ත්රික ක්රමවේද හරහා විශේෂඥයන් ගෙන්වීමට කාලයක් ගතවන බව කියමින් ඔහු නිදහසට කරුණු කීවේය.
මාධ්යවේදීන්ගේ ප්රශ්න හමුවේ බලධාරීන් පිළිතුරු නොදී පැන ගිය කරුණු
මෙම මාධ්ය හමුවේදී මතු කළ තීරණාත්මක ප්රශ්න කිහිපයකටම නිලධාරීන්ගෙන් ලැබුණේ වගකීම් විරහිත සහ මඟහරින සුළු ප්රතිචාරයන්ය:
| මාධ්යවේදීන් නැගූ ප්රශ්නය | බලධාරීන්ගේ වගකීම් විරහිත ප්රතිචාරය |
| 1. ‘කාවන්තිස්ස’ යන නම පවා භාවිත කිරීමට බිය වන්නේ ඇයි? | මුළු රටම ආදරය කළ ඇතාගේ නම මාධ්ය නිවේදනයේදී “වනජීවී ලෝලීන් විසින් කාවන්තිස්ස යැයි හඳුන්වන” ලෙස යෙදීම ගැන ප්රශ්න කළ විට, තමා “විද්යාඥයෙකු” ලෙස කතා කරන බැවින් තනි සතෙකුට නමක් දමා විශේෂත්වයක් නොදක්වන බවත්, දළ ඇතෙකුගේ ජාන ඇත්තේ රංචුවේ ගැහැනු සතුන් ළඟ බැවින් තනි ඇතෙකුට වඩා ගහනය වැදගත් බවත් අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස පැවසීය. |
| 2. 2019 හබරණ අලි 7 දෙනාගේ මරණ වාර්තාව සහ RTI තොරතුරු සඟවන්නේ ඇයි? | 2019 හබරණ දිගම්පතහා (තුම්බිකුලම) රක්ෂිතයේදී අලි 7 දෙනෙකු මියගිය සිද්ධිය පිළිබඳ පත් කළ කමිටු වාර්තාවට කුමක් වූයේදැයි ඇසූ විට, “ඒ කමිටු වාර්තාව දැනට මම පරිශීලනය කරලා නැති නිසා මට කියන්න බැහැ” යැයි අධ්යක්ෂ ජනරාල්වරයා කීවේය. එම වාර්තා වෙබ් අඩවියේ පළ නොකරන්නේ මන්දැයි ඇසූ විට “ෆොටෝකොපි ගැසීමට තරම් වාර්තා විශාල (Bulky) නිසා” යැයි හාස්යජනක පිළිතුරක් ලබා දුන්නේය. |
| 3. වෙඩි තැබූ අපරාධකරුවන් අත්අඩංගුවට නොගත්තේ ඇයි? | සති තුනකට අධික කාලයක් ගතවුවද කාවන්තිස්සට වෙඩි තැබූ දඩයක්කරුවන් නීතිය හමුවට ගෙන ඒමට නොහැකි වීම ගැන විමසූ විට, දේශීයව හදන ගිනිඅවිවලට කර්මාන්තශාලා අංක නොමැති නිසා ඒවා සෙවීම (Trace කිරීම) අපහසු බව පවසමින් වගකීමෙන් මිදුණේය. |
| 4. නාකොළගමුව නඩු තීන්දුවට අනුව මහජනතාවගෙන් සමාව ගත්තාද? | 2026 ජූනි 21 දින අධිකරණය මගින් පුවත්පත් දැන්වීමක් පළ කර මහජනතාවගෙන් සමාව ගන්නා ලෙස දුන් නියෝගය ඉටු කළේදැයි ඇසූ විට, ඊට සෘජු පිළිතුරක් නොදී වටේ යමින් අදාළ ඉඩම් වනජීවී රක්ෂිත නොවූ බවට නිදහසට කරුණු කීවේය. |
රටේ ඉතිරිව සිටින අතළොස්සක් වූ සද්දන්ත දළ ඇතුන් එකා පිට එකා වෙඩි කා මියයද්දී, රටේ සිටින ඇතුන් ගණනවත් නොදන්නා, වෙන් කළ මුදලින් X-ray යන්ත්රයක් හෝ අලි රෝහලක් හදාගත නොහැකි, “අවුරුදු 45ක් ජීවත් වුණා ඇති” යැයි කියමින් සිනාසෙන බලධාරීන් පිරිසක් යටතේ මෙරට වනජීවී සම්පතට අත්වී ඇති ඛේදනීය ඉරණම මෙම මාධ්ය හමුවෙන් මනාව පසක් විය.








Leave a Reply