Loading...

පාස්කු ප්‍රහාරයේ පූර්ව තොරතුරු හමුදාව සඟවා ඇති බවට CIDයෙන් අධිකරණයට තොරතුරු

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ පූර්ව තොරතුරු ශ්‍රී ලංකා හමුදා සහ රාජ්‍ය බුද්ධි අංශවල ඇතැම් කොටස් සතුව පැවති නමුත්, එම තොරතුරු අනෙකුත් ආරක්ෂක අංශ වෙත ලබාදීමට අදාළ අංශ අසමත් වී ඇති බවට අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (CID) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ඇතුළු සැකකරුවන්ට අදාළ නඩුව කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා මෙම කරුණු අනාවරණය කළා.

එහිදී අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා පෙන්වා දුන්නේ, ප්‍රහාරයට සම්බන්ධ අන්තවාදීන් පිළිබඳව අනතුරු ඇඟවීම් ලැබී තිබියදීත් හමුදා බුද්ධි අංශයේ යම් පිරිසක් හිතාමතාම එම තොරතුරු වසන් කළේද යන්න පිළිබඳව විමර්ශන ක්‍රියාත්මක වන බවයි.

2014 වසරේ සිට තොරතුරු සැපයූ බුද්ධි මූලාශ්‍රයක් මගින් ප්‍රහාරයට පෙර දින පවා විශේෂිත තොරතුරු ලබා දී තිබුණද, ඒවා අනෙකුත් අංශ වෙත දැනුම් දී නොමැති බව පැමිණිල්ල චෝදනා කළා.

එමෙන්ම හමුදා බුද්ධි අංශයේ සිටි සංවිධානාත්මක කණ්ඩායමක් පාස්කු ප්‍රහාරයේ මහමොළකරු වූ සහරාන් හෂීම් ඇතුළු පිරිස ආරක්ෂා කිරීමටත්, ප්‍රහාරය පිටුපස සිටි සැබෑ වගකිවයුත්තන් ආවරණය කිරීමටත් කටයුතු කර ඇති බවටද අධිකරණයේදී කරුණු වාර්තා වුණා.

මීට පෙර වවුනතිව් හි සිදුවූ ප්‍රහාරයට සහරාන් වගකිව යුතු බවට ගිරිතලේ බුද්ධි කඳවුරෙන් දැනුම් දී තිබියදීත්, එය හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයකු පිට පැටවීමට හමුදා බුද්ධි අංශ කටයුතු කළ බවටද මෙහිදී චෝදනා නැගුණා.

මේ අතර, ෂැංග්‍රි-ලා බෝම්බකරුගේ මාමණ්ඩිය වන අලව්දීන් නැමැති ව්‍යාපාරිකයාගේ වේගවත් යාත්‍රා භාවිත කරමින් සහරාන් ඇතුළු පිරිස ඉන්දියාවට ගොස් ඇති බවත්, හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ අදාළ ව්‍යාපාරිකයා ප්‍රහාරකයින්ට දේශපාලනික හා සැපයුම් සහාය ලබාදුන්නේද යන්න පරීක්ෂා කරන බවත් CIDය පැවසුවා.

එමෙන්ම සයින්දමරුදු හි සිදුවූ වෙඩි තැබීමේදී තොරතුරු ලබාගත හැකි පරිදි පුද්ගලයන් ජීවග්‍රහයෙන් ගැනීමට ඉඩනොදී හමුදාව කටයුතු කළේද යන්න පිළිබඳවද විමර්ශන පැවැත්වෙනවා.

නඩුවේ සැකකරුවකු වන සුරේෂ් සලේ මහතා දින 100කට ආසන්න කාලයක් රෝහල්ගතව සිටීම සම්බන්ධයෙන් මතු වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා, ඔහුගේ වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් නොකිරීමට හේතු පැහැදිලි කිරීම සඳහා ඊළඟ නඩුවාරයේදී පෙනීසිටින ලෙස දන්වා කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට නොතීසි නිකුත් කළා.

අදාළ නඩුව නැවත සැප්තැම්බර් 22 වනදා කැඳවීමට නියමිතයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *