දේශබන්දු තෙන්නකෝන් නම් පුද්ගලයා පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීම වලක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (24) ලබා දුන් තීන්දුව පිළිබද රජයේ මතය ඉදිරි දින දෙක ඇතුලත ප්‍රකාශ කිරීමට ඊයේ හවස හදිසියේ රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කලබව මාධ්‍ය වාර්තා කර තිබුණි.

කැබිනට් මණ්ඩලයේ මෙම තීන්දුව නීතියේ ආධිපත්‍ය අභියෝගයට ලක්කිරීමක් බව මාධ්‍ය නිවේදයක් නිකුත් කරමින් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පවසයි. එම සම්පුර්ණ මාධ්‍ය නිවේදනය පහතින්…
“දේශබන්දු තෙන්නකෝන් නම් පුද්ගලයා පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීම වලක්වාලමින් ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙනු ලැබූ අතුරු නියෝගය ගැන අධ්‍යයනය කිරීමට දින දෙකක් ලබා ගන්නා බවට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය ශ්‍රී ලංකාවේ නීතිය සහ අධිකරණ පද්ධතිය හෑල්ලුවට ලක්කිරීමක් ලෙස අපි සලකමු.

සමස්ත පොලිස් සේවයටවත් නොගැලපෙන පුද්ගලයකු ව්‍යවස්ථා විරෝධීව පොලිස්පති ලෙස නාම යෝජනා කර ව්‍යවස්ථා සභාවට යොමු කිරීමත්, ව්‍යවස්ථා සභාව අනුමත නොකර තිබියදී කතානායකගේ නීති විරෝධී ලිපියක් මත ජනාධිපතිවරයා විසින් පොලිස්පති ලෙස ඔහු පත් කිරීමත් අභියෝගයකට ලක්කරමින් මෙම පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබිණි.
ඒ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ විමසීමකින් පසු නිකුත් කළ අතුරු තහනම් නියෝගයට ගරු කරමින් කටයුතු කරනවා වෙනුවට අමාත්‍ය මණ්ඩලය රැස්වී ඒ ගැන ආණ්ඩුවේ මතය ප්‍රකාශ කිරීමට දින දෙකක් ලබා ගැනීම සුළුකොට සැලකිය නොහැකි බරපතළ තත්ත්වයකි. මේ අවස්ථාවේ ආණ්ඩුවේ මතයක් අවශ්‍ය නොවන අතර ජනාධිපතිවරයා විසින් කළ යුත්තේ තනතුරට සුදුස්සකු වැඩ බැලීම සඳහා නම් කර ව්‍යවස්ථා සභාවට යැවීමයි.
එසේ නොකර අධිකරණ නියෝග හෑල්ලුවට ලක් කරමින් කටයුතු කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ අමත්‍ය මණ්ඩලය කටයුතු කිරීම රටේ නීතියේ අධිපත්‍ය අභියෝගයට ලක් කිරීමක් පමණක් නොව,රටේ යහ පැවැත්මද අභියෝගයට ලක්කිරීමකි.
ජනාධිපතිවරයා නීතිඥවරයකු වන අතර අමාත්‍ය මණ්ඩලයේද නීතිඥවරු කිහිප දෙනෙක් සිටිති. එසේ සිටියදී මේ ආකාරයට අත්තනෝමතිකව කටයුතු කිරීම ඔවුන්ගේ නීතිඥ වෘත්තියටද නොගැලපෙන ක්‍රියාවක් සේ අපි සලකමු.
එසේ හෙයින් තවදුරටත් රටේ නීතියේ ආධිපත්‍ය තර්ජනයට ලක් නොකර වහාම සුදුස්සකු වැඩ බලන පොලිස්පත්වරයකු ලෙස පත් කරන ලෙස අපි රජයට බල කර සිටිමු. එසේ නොකර තවදුරටත් අත්තනෝමතිකව කටයුතු කිරීමට ආණ්ඩුව උත්සාහ කරන්නේ නම් ඊට එරෙහිව නීතියේ රාමුව තුල සිදු කළ හැකි සියලුම ක්‍රියාමාර්ග ගැනීමට තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පසුබට නොවන බවත් සඳහන් කරමු.”
තරිඳු ජයවර්ධන
සභාපති
තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
මෙම තීන්දුව පිලිබඳ වැඩි වැඩිදුර තොරතුරු :








Leave a Reply