Loading...

ජනාධිපතිවරණය කල් දමන ලෙස ඉල්ලු පෙත්සමට එරෙහිව අතරමැදි පෙත්සම් කිහිපයක්

එළඹෙන ජනාධිපතිවරණය සැලසුම් කර තිබෙන පරිදි පැවැත්වීමේ වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභා කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අතරමැදි පෙත්සම් කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා.

සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත්, ආචාර්ය හරිනි අමරසූරිය සහ සමාජවාදී තරුණ සංගමයේ එරංග ගුණසේකර යන පුද්ගලයින් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු පිරිසක් විසින් ද මෙම අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කර ඇති බවද සඳහන්.

අතරමැදි පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය 3 පරිච්ඡේදය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30(2) ව්‍යවස්ථාව සංශෝධනය කර තිබෙන බවත් මේ අනුව ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 06 සිට වසර 05ක් දක්වා අඩු කර තිබෙන බවත්ය.

මේ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව වත්මන් ජනාධිපතිවරයාගේ නිල කාලය මෙම වසරේ අවසන් වන අතර මෙම වසරේ ජනාධිපතිවරණයක් පැවැත්වීම අත්‍යවශ්‍ය බවද ඔවුන් පෙන්වා දී තිබෙනවා.

අදාළ පෙත්සම්කරුවන් චෝදනා කරන්නේ ජනාධිපතිවරණය කල් දමන ලෙස ඉල්ලා අදාළ පෙත්සම ඉදිරිපත් කිරීමේදී පෙත්සම්කරු වැරදි සහගත කරුණු අධිකරණය හමුවේ ඉදිරිපත් කරමින් අධිකරණය නොමඟ යැවීමට කටයුතු කර ඇති බවයි.

එහිදී සිය ඉල්ලීම සාධාරණීයකරණය කිරීමට ඉවහල් වන කරුණු කිසිවක් ඉදිරිපත් කිරීමට පෙත්සම්කරු අපොහොසත් වී බවද අතරමැදි පෙත්සම්කරුවෝ චෝදනා පෙන්වා දෙනවා.

මේ අනුව මෙම පෙත්සම පිළිබඳව මැදිහත් වී කරුණු දැක්වීමට තමාට අවසර දෙන ලෙසත් තමන් ඉදිරිපත් කරනු ලබන කරුණු සලකා බලා අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙසත් අතරමැදි පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන දිනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු දැනට සැලසුම් කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ව්‍යවසායකයෙකු වන සී.ඩී. ලෙනව මහතා විසිනි අදාළ පෙත්සම ගොනුකර තිබුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *