Loading...

,

අනෝජන් සිවරාසාගේ මරණ දඬුවම සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය සම්පූර්ණයෙන්ම අවලංගු කරයි

සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටි ශ්‍රී ලාංකික තරුණයෙකු වන අනෝජන් සිවරාසා මහතාට පනවා තිබූ මරණ දඬුවම සම්පූර්ණයෙන්ම අවලංගු කිරීමට සෞදි අරාබියේ ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (13) ඓතිහාසික තීරණයක් ගෙන තිබෙනවා.

විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා සිය නිල ෆේස්බුක් (Facebook) පිටුවේ විශේෂ සටහනක් තබමින් මෙම සුබ ආරංචිය නිල වශයෙන් තහවුරු කළා.

ඊයේ (13) දිනයේදී සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීරණය ගෙන ඇති අතර, ශ්‍රී ලංකා රජය විසින් අඛණ්ඩව සිදුකරන ලද දැවැන්ත රාජ්‍යතාන්ත්‍රික සහ නීතිමය මැදිහත්වීම්වල විශිෂ්ට ප්‍රතිඵලයක් ලෙස මෙය සැලකෙන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මරණයේ සෙවනැලි අභියෝගයට ලක්කරමින් ලාංකික තරුණයෙකුගේ ජීවිතය බේරාගැනීමට හැකි වූ මෙම සුවිශේෂී අවස්ථාවේදී සෞදි අරාබි රජය ලබාදුන් උපරිම සහයෝගය සහ නම්‍යශීලීභාවය වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ කෘතඥතාව ද නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් පළ කර සිටියා.

එමෙන්ම, මෙම සංකීර්ණ නීතිමය සහ රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාවලිය සාර්ථක කරගැනීම උදෙසා අසීමිත කැපවීමකින් කටයුතු කළ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපතිවරයා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා ඇතුළු නිලධාරී මණ්ඩලය මෙන්ම මෙරට සහ සෞදි අරාබියේ ඒකාබද්ධ නීතිඥ කණ්ඩායම් දැක්වූ විශිෂ්ට දායකත්වය ද නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ ඇගයීමට ලක් වුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Latest