ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැති තෙවන සහ අවසන් විස්සයි විස්ස තරඟයෙන් කඩුලු 8ක විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම ඊයේ (16) රාත්‍රියේ සමත් වුණා.
කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැති තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක තීරණය කළේ පළමු පන්දුවට පහරදීමටයි.
මෙම ක්‍රීඩාංගණයේ 2021 වසරේ සිට පැවැති විස්සයි විස්ස තරඟ 12කදී පළමුව පන්දුවට පහරදුන් කණ්ඩායම අවස්ථා දෙකකදී තරඟ ජයග්‍රහණය කිරීමට සමත්ව ඇති අතර දෙවනුව පන්දුවට පහරදුන් කණ්ඩායම අවස්ථා 10කදී තරඟ ජයග්‍රහණය කිරීමට හැකිව තිබෙනවා.
කෙසේ වෙතත් මෙම වාර්තා ගැන කිසිඳු තැකීමකින් තොරව නායකයා කාසියේ වාසිය ගැන ලබාගත් තීරණය සම්බන්ධව බොහෝ දෙනා විමතිය පළකලා.
නායකයා ලබාගත් තීන්දුවට සාධාරණයක් ඉටු කිරීමට පිටියට පිවිසි පැතුම් සහ කුසල් හට පළමු පන්දුවාරයේ සිටම බංග්ලාදේශ පන්දු යවන්නන් දැඩි පීඩනයක් යොමු කරමින් පන්දු යැවීම සිදු කළා.
ඔවුන්ගේ ඥාණන්විත පන්දු යැවීම හමුවේ කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන් සිව් දෙනෙක් ශ්‍රී ලංකා ඉනිමේ පන්දුවාර 7යි පන්දු 4ක් අවසන් වන විට නැවත ක්‍රීඩාගාරය කරා බලා යාමට සිදුවුණා.
එම කඩුලු 4 අතුරින් කඩුලු 3ක් Mahedi Hasan දවා ගැනීමට සමත් වූණා.
කෙසේ වෙතත් එක් අන්තයක් ආරක්ෂා කරගනිමින් සටනක් ලබාදුන් පැතුම් නිස්සංක ලකුණු 46ක් ලබා සිටි අවස්ථාවේ Mahedi Hasanගේ පන්දුවක් හමුවේ දැවී ගියා.
පන්දුවාර 13යි පන්දු 1ක් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6කට ලකුණු 88ක් ලබා සිටියා.
එතැන් සිට ශ්‍රී ලංකා ඉනිමට යම් ගෞරවයක් ලබාදීමේ අරමුණින් දසුන් ශානක එක් අන්තයක හුඳකලා ඉනිමක් දියත් කළ අතර ඔහු පන්දු 25කින් ලකුණු 35ක් ලබාගත් අතර ඔහුගේ ඉනිමට හයේ පහර 2ක් සහ හතරේ පහර 4ක් ඇතුළත්.
නියමිත පන්දුවාර 20 අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 7ක් දැවී ලකුණු 132ක් ලබා ගැනීමට සමත් වූ අතර බංග්ලාදේශය වෙනුවෙන් Mahedi Hasan පන්දුවාර 4ක් තුළදී ලකුණු 11කට කඩුලු 4ක් බිඳ හෙලුවා.
ඒ අනුව ලකුණු 133ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 3කදී කඩුලු 2ක් දැවී තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.
එහිදී බංග්ලාදේශය වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ Tanzid Hasan නොදැවී ලකුණු 73ක් ලබාගත් අතර ඔහුගේ ඉනිම ඊට දැවැන්ත හයේ පහර 6ක් සහ එක් හතරේ පහරක් ඇතුලත් උනා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් නුවන් තුෂාර එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වූ අතර අනෙක් කිසිඳු පන්දු යවන්නෙකුට සාර්ථක වීමට බංග්ලාදේශ පිතිකරුවන් ඉඩකඩ ලබාදුන්නේ නැහැ.
ඒ අනුව තරඟ තුනකින් සමන්විත තරඟාවලිය 2-1ක් ලෙස ජයග්‍රහණය කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.
මෙම ජයග්‍රහණය සැලකෙන්නේ බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකාවේදී ලද පළමු විස්සයි විස්ස තරඟාවලිය ජය ලෙසයි.








Leave a Reply