Loading...

වැස්ස ආයෙත් රටම කළඹයි – දිස්ත්‍රික්ක 6කට නාය යෑමේ අනතුරු අඟවයි

දිවයිනට බලපා ඇති පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව නුවරඑළිය, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා මෙලෙස නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව සඳහන්.

මෙහිදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා ‘අවධානයෙන් සිටින්න’ ලෙස විශේෂ දැනුම්දීමක් කර තිබෙනවා.

මීට අමතරව පහත සඳහන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල වෙසෙන ජනතාවටද නායයෑම් පිළිබඳ විමසිලිමත්ව පසුවන ලෙසයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය උපදෙස් දෙන්නේ:

ගාල්ල දිස්ත්‍රික්කය: නාගොඩ, කළුතර දිස්ත්‍රික්කය: පාලින්දනුවර, මහනුවර දිස්ත්‍රික්කය: පස්බාගේ කෝරළය, කෑගල්ල දිස්ත්‍රික්කය: දැරණියගල, රත්නපුර දිස්ත්‍රික්කය: පැල්මඩුල්ල, රත්නපුර, කුරුවිට සහ නිවිතිගල

මෙම නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය අද (20) පස්වරු 7.00 සිට හෙට (21) පස්වරු 7.00 දක්වා පැය 24ක කාලයක් බලපැවැත්වෙන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ගෙවුණු පැය කිහිපය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය කෑගල්ල දිස්ත්‍රික්කයේ මාලිබොඩ ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා. එම අගය සටහන් වන්නේ මිලිමීටර් 103.5ක් ලෙසයි.

ඊට අමතරව ගාල්ල දෙල්වල තේ කර්මාන්තශාලා ප්‍රදේශයට මිලිමීටර් 93.5ක, ගුරුදියපොත්ත තේ කර්මාන්තශාලා ප්‍රදේශයට මිලිමීටර් 87.5ක සහ කළුතර නෑබොඩ ප්‍රදේශයට මිලිමීටර් 83.0ක ඉහළ වර්ෂාපතනයක් ලැබී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

දිවයින පුරා දැනට පවතින සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් ඉදිරි පැය කිහිපයේදී ප්‍රදේශ රැසකට තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

ඒ අනුව පහත සඳහන් ප්‍රදේශවලට මිලිමීටර් 100ට වැඩි ඉතා තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ වැඩි හැකියාවක් පවතිනවා.

බස්නාහිර පළාත

සබරගමුව පළාත

මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක

තද වැසි සහ අකුණු අනතුරු මගින් සිදුවිය හැකි හානි අවම කරගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂිත පියවර වහාම ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.

මේ අතර කුඩා ගඟ සහ මගුර ගඟ ආශ්‍රිත පහත්බිම් ප්‍රදේශ සඳහා ඉදිරි පැය 24 ඇතුළත සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට ඇදහැලුණු අධික වර්ෂාපතනයත් සමග, ගංගා ජල මාපකවල ජල මට්ටම සැලකිය යුතු ලෙස ඉහළ යාම මීට හේතුවයි.

අවදානමට ලක්වන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස: බුලත්සිංහල, මදුරාවල සහ පාලින්දනුවර

මාර්ග භාවිත කරන්නන්ට අනතුරු ඇඟවීමක්: කුඩා ගඟ සහ මගුර ගඟ අවට පහත්බිම් හරහා වැටී ඇති අතුරු මාර්ග රැසක් ජලයෙන් යටවීමේ දැඩි අවදානමක් මතුව තිබෙනවා.

මෙම තත්ත්වය හමුවේ අදාළ ප්‍රදේශවල පදිංචි ජනතාව මෙන්ම එම මාර්ගවල ගමන් ගන්නා රියදුරන්ද දැඩි විමසිල්ලෙන් සහ අවධානයෙන් කටයුතු කරන ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මේ අතර මහවැලි ගඟ අවට පහත්බිම් ප්‍රදේශ සඳහා සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් විශේෂ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එම ප්‍රදේශවල වෙසෙන ජනතාවගෙන් හා ඒ හරහා වැටී ඇති මාර්ග භාවිත කරන රියදුරන්ගෙන් මේ පිළිබඳව දැඩි සැලකිල්ලෙන් යුතුව කටයුතු කරන මෙන් එම දෙපාර්තමේන්තුව දැනුම්දී ඇත.

තවද එම ප්‍රදේශවල මහවැලි ගඟට ආසන්නව පදිංචි මහජනතාවද මේ සම්බන්ධව අවදානයෙන් පසුවන ලෙසත් ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයකින් ආරක්ෂාවීමට කටයුතු කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව අදාළ නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *