නාරම්මල ප්‍රදේශයේ දී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලීසිය කියා සිටියේ මුදල් මංකොල්ලය සඳහා පැමිණි පුද්ගලයින් තිදෙනෙකුගෙන් අයෙක් මෙලෙස වෙඩි වැදීමෙන් මියගොස් ඇති බවයි.
මෙම මංකොල්ලකරුවන් පිරිස ඇපල් වර්ගයේ ජංගම දුරකථන අලෙවිකරණ බවට පුවත්පත් දැන්වීම් පළකර එලෙස ජංගම දුරකථන මිලදී ගැනීමට පැමිණෙන පුද්ගලයින්ගේ මුදල් කොල්ලකෑමට උත්සාහ දරා ඇති බව මුලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
අදාළ දැන්වීමට අනුව ජංගම දුරකථන මිලදී ගැනීම සඳහා රුවන්වැල්ල ප්‍රදේශයේ පිරිසක් පැමිණ ඇති බව වාර්තා වනවා.
එම පිරිසට ඇති වූ සැකය මත මේ සම්බන්ධයෙන් පොලීසියට දැනුම් දී පොලිස් නිලධාරීන් සමඟ ඔවුන් හමුවීමට ගොස් ඇති බව සඳහන්.
නාරම්මල ප්‍රදේශයේ ස්ථානයකට පැමිණෙන ලෙස කොල්ලකරුවන් පිරිස ඔවුන්ට දැනුම් දී ඇති අතර එම ස්ථානයට පැමිණීමත් සමඟ කොල්ලකරුවන් ඔවුන්ගේ මෝටර් රථයට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා.
පොලීසිය කියා සිටියේ මෙහිදී පොලිස් නිලධාරීන් සමඟ ඇති වූ පොර බැඳීමක් අතරතුර පොලිස් නිලධාරීන් කොල්ලකරුවන් පිරිසට වෙඩි තබා ඇති බවයි.
එම අවස්ථාවේ දී කොල්ලකරුවන් දෙදෙනෙක් පළා ගොස් ඇති අතර වෙඩි වැදීමෙන් තුවාල ලැබූ එක් කොල්ලකරුවෙකු රෝහල්ගත කිරීමේදී මියගොස් තිබෙනවා.
තවද කොල්ලකරුවන් එල්ල කළ ප්‍රහාරය හේතුවෙන් තුවාල ලැබූ ජංගම දුරකථන මිලදී ගැනීමට පැමිණි දෙදෙනා තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් නාරම්මල පොලීසිය විමර්ශන සිදු කරනු ලබනවා.
Leave a Reply