ශ්‍රී ලංකාවේ වහල මත සූර්ය බලශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති දැඩි බලපෑම් පිළිබඳව දැනුම්වත් කරමින්, ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබෙනවා.
‘ශ්‍රී ලංකාවේ වහල මත සූර්ය බලශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති තර්ජනය’ මැයෙන් යොමුකර ඇති අදාළ ලිපිය මගින්, ජාතික බලශක්ති සුරක්ෂිතතාව සහ ආර්ථික ප්‍රකෘතිය දැඩි අවදානමකට ලක්කරන තීරණාත්මක ප්‍රතිපත්තිමය ගැටලු දෙකක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ හදිසි මැදිහත්වීම සිදුකරන ලෙසයි ඉල්ලා සිටින්නේ.
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) සහ ජාතික පද්ධති ක්‍රියාකරු (NSO) විසින් නිකුත් කර ඇති නිල පුරෝකථනවලට අනුව, එළඹෙන 2027 වසරේ මුල් භාගය වන විට මෙගාවොට් පැය 450ක් දක්වා වූ දැවැන්ත බලශක්ති හිඟයක් ඇතිවීමේ දැඩි අවදානමක් පවතින බව ද එම ලිපියේ පෙන්වා දී තිබෙනවා.
වහල මත සූර්ය විදුලි පද්ධති සහ බැටරි බලශක්ති ගබඩා පද්ධති (RTSPV) වේගයෙන් ව්‍යාප්ත කිරීම මගින් මෙම ඉදිරි බලශක්ති අර්බුදය අවම කරගත හැකි වඩාත් ප්‍රායෝගික විසඳුම වන නමුත්, මෑතකදී නිකුත් කර ඇති ඇතැම් ප්‍රතිපත්තිමය උපදෙස් හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට සහාය විය හැකි මෙම ක්ෂේත්‍රයේ පැවැත්මටම දැඩි තර්ජනයක් එල්ල වී ඇති බවයි ජාතික වාණිජ මණ්ඩලය පවසන්නේ.
වත්මන් වහල මත සූර්ය විදුලි පද්ධති සහ බැටරි බලශක්ති ගබඩා පද්ධති ක්ෂේත්‍රය මගින් මේ වන විටත් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 2,600ක දැවැන්ත ධාරිතාවක් එකතු කරන අතර, ආනයනික පොසිල ඉන්ධන සඳහා වැයවන මුදලින් මසකට ආසන්න වශයෙන් රුපියල් බිලියන 20.4ක මුදලක් රටට ඉතිරි කරදීමට ද දායක වනවා.
රටට විශාල මූල්‍ය සහ බලශක්ති ප්‍රතිලාභයක් ලබාදෙන මෙවැනි පසුබිමක, වහල මත සූර්ය බලශක්ති ක්ෂේත්‍රය නියාමනමය බාධක රැසකට මුහුණ දෙමින් සිටීම කනගාටුදායක තත්ත්වයක් බවයි ජාතික වාණිජ මණ්ඩලය ජනාධිපතිවරයා වෙත යොමුකළ ලිපිය මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.








Leave a Reply