අමෙරිකාව හා ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව අරඹා අතු යුද්ධය හේතුවෙන් ලෝක බලශක්ති වෙළෙඳපොලට එල්ල වන බලපෑම සැලකිල්ලට ගෙන අමෙරිකාව විසින් ඉරානයේ තෙල් සඳහා පනවා තිබෙන සම්බාධක ඉවත් කිරීමට සලකා බලමින් සිටින බව වාර්තා වනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි.
එම තීරණයෙන් ගෝලීය ගැනුම්කරුවන්ට වැඩි තෙල් ප්‍රමාණයක් ලබාගත හැකි බවද ඔහු අදාළ යෝජනාවෙන් පෙන්වා දී තිබෙනවා.
නෞකා ගමනාගමනයට සහ නිෂ්පාදනයට ක්ෂේත්රයට බාධා එල්ල වීම සමඟ ලොව පුරා බලශක්ති මිල ගණන් සීඝ්රයෙන් ඉහළ යමින් පවතිනවා.
මෙම පියවර ක්‍රියාවට නැංවුවහොත් ඉරානයට එරෙහිව අමෙරිකානු දිගුකාලීන ප්‍රතිපත්තියේ විශ්මයජනක වෙනසක් සනිටුහන් කරනු ඇති.
මෙමඟින් අවිනිශ්චිත ප්රතිලාභ රැසක් ලැබෙනු ඇති බවද ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.
චීනය යුද්ධයට පෙර සිටම ඉරානයේ ප්‍රධාන තෙල් ගැනුම්කරුවා වනවා.
අමෙරිකානු භාණ්ඩාගාර ලේකම්වරයා පවසන්නේ අමෙරිකාව ඇතුළු රටවල් රැසක් ඉරානයට පනවන ලද සම්බාධක හේතුවෙන් චීනය සුවිශාල වට්ටම්වලට ඉරාන තෙල් ලබාගත් බවයි.
ඉරාන තෙල් සඳහා පනවන ලද විකුණුම් සීමා ඉවත් කළ හොත් දින 10ත් 14ත් අතර කාලයේ දී ගෝලීය මිල ගණන් පහත වැටෙනු ඇති බව ඔහු ඇස්තමේන්තු කර තිබෙනවා.
තෙල් සංචිත මිලියන ගණනක් මුදා හැරීම සහ පසුගිය සතියේ රුසියානු තෙල් සඳහා පනවා තිබූ සම්බාධක කිහිපයක් අත්හිටුවීම ඇතුළුව සැපයුම ඉහළ නැංවීමට එක්සත් ජනපදය දැරූ උත්සාහයන් සැලකිල්ලට ගෙන මෙම යෝජනාව ඉදිරිපත්ව ඇති බව සඳහන්.
රාස් ලෆාන් බලාගාරයට එල්ල වූ ප්‍රහාරයෙන් කටාර් ආර්ථිකයට අවධානමක්
ඉරානය විසින් කටාර් රාජ්‍යයේ රාස් ලෆාන් බලාගාරයට එල්ල කළ ප්‍රහාරයෙන් එරට ආර්ථිකයට සැලකිය යුතු බලපෑමක් එල්ල වනු ඇති බව වාර්තා වනවා.
කටාර් බලශක්ති අමාත්‍යවරයා පවසන්නේ ඉදිරි වසර 5 තුළ කටාර් හි ස්වභාවික වායු අපනයන ධාරිතාව 17%කින් අඩු වනු ඇති බවයි.
මෙමඟින් ඩොලර් බිලියන 20ක් පමණ වාර්ෂික ආදායමක් රටට අහිමි වනු ඇති බවද ඔහු සඳහන් කරනවා.
මෙම ප්‍රහාරයෙන් සැලකිය යුතු හානියක් සිදුව ඇති බව දැන සිටිය ද එය මෙතරම් බරපතළ බව තමන් නොසිතූ බවත් එරට බලශක්ති අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටිනවා.
ඊශ්‍රායලය විසින් පර්සියානු බොක්කෙහි උතුරට ආසන්නයේ පිහිටි ඉරානයට අයත් සවුත් පර්ස් ගෑස් නිදියට ඉකුත් බදාදා එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර වශයෙන් ඉරානයේ රාස් ලෆාන් වෙත මෙම ප්‍රහාරය එල්ල කළා.
කුවේටයේ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයකට නැවත වරක් ප්‍රහාර
ප්‍රහාර නවතා දමන ලෙස ජාත්‍යන්තරයෙන් ඉල්ලීම් ලැබුණ ද කුවේට් රජයට අයත් මීනා අල අහමදී තෙල් පිරිපහදුවට ඩ්‍රෝන ප්‍රහාර කිහිපයක් එල්ල වී තිබෙනවා.
එරට තෙල් සංස්ථාව පවසන්නේ ප්‍රහාරය නිසා පිරිහදුවේ ඒකක කිහිපයක ගින්නක් හටගෙන ඇති බවත් ආරක්ෂක පියවරක් ලෙස ඒවායේ වැඩකටයුතු නතර කර ඇති බවයි.







Leave a Reply