Loading...

,

ඉරාන නෞකාවට එල්ල වූයේ සබ්මැරීන ප්‍රහාරයක් නොවේ – නාවික හමුදාව

ඉරාන නෞකාවට සබ්මැරීන ප්‍රහාරයක් එල්ල වූ බවට පළවන මාධ්‍ය වාර්තා ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රතික්ෂේප කරනවා.

ඉරාන නෞකා අනතුර සම්බන්ධයෙන් අද (04) විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් මහතා පවසන්නේ අනතුරට ලක්වූ ඉරාන යුද නෞකාවට ප්‍රහාරයක් එල්ලවීමෙන් මුහුදුබත්වී ඇති බවට විදෙස් මාධ්‍ය සිදුකෙරෙන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවයි.

එය සැබැවින්ම ඉරාන නෞකාවක් බවත් නාවික හමුදාව එම ස්ථානයට ළඟා වන විට එය තවදුරටත් දක්නට නොලැබුණු බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී සඳහන් කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා,

“මූලික වශයෙන් අපි බලන්නේ ආපදාවට ලක්වූ යාත්‍රාවේ ජීවිත ආරක්ෂා කිරීම. ඉන් පසුව තමයි මෙය කුමණ ආකාරයකින් සිදුවුණේද යන්න සම්බන්ධයෙන් විමර්ශන සහ තාක්ෂණික වාර්තාවක් ලබාගන්න පුළුවන් වෙන්නේ. අපේ මේන් ෆෝකස් එක වෙලා තියෙන්නේ තවත් පිරිස් ආරක්ෂාකාරීව ඉන්නවා නම් ඒ අයව බේරගන්න එක. මෙම නෞකාවේ කොපමණ ප්‍රමාණයක් ගියාද කියන එක අපිට කියන්න වෙන්නේ ඉදිරියේදීයි.

අපිට ලැබුණු තොරතුරුවලට අනුව අපි අනතුර සිදුවූ ස්ථානයට යද්දි අපිට දකින්න ලැබුණේ ලොකු තෙල් පැල්ලමක් විතරයි. ඒ නිසා එම නෞකාව මුහුදුබත් වෙලා කියන එක ප්‍රකාශ කරන්න පුළුවන්. කෙසේවෙතත් ශ්‍රී ලංකාව මේ වෙද්දි නෞකාවේ හිටපු 32ක් බේරාගෙන ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කරලා තියෙනවා. ඒ අයගෙන් තොරතුරු ලබාගෙන තමයි ඉදිරි විස්තර කියන්න පුළුවන්.

මළ සිරුරු කිහිපයක් මුහුදේ පාවෙමින් තිබියදී සොයාගෙන තිබෙනවා. සොයාගත් මළ සිරුරු නෞකාවේ සේවකයින්ගේ බවට අපි සැක කරනවා.”

කෙසේ වෙතත් මෙරට නාවික හමුදාව සහ ආරක්ෂක අමාත්‍යාංශය උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය අද (04) දහවල් වාර්තා කළේ ශ්‍රී ලංකාවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ දී ඉරාන නෞකාවට සබ්මැරීන ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි.

මෙහිදී අවම වශයෙන් පුද්ගලයින් 101 දෙනෙක් අතුරුදහන් වී 78 දෙනෙකු තුවාල ලබා ඇති බව එම මාධ්‍ය වාර්තාවල සඳහන් වුණා.

අද (04) අලුයම සිදුවූ මෙම අනතුරින් එම නෞකාවේ සිටි 32 දෙනෙක් පමණ මුදාගෙන ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *