හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නව නාවික ගමන් මාර්ගයක් සකස් කිරීම සම්බන්ධයෙන් ඕමානය සමඟ අවසන් එකඟතාවකට පැමිණීමට සූදානම් බව ඉරානය පවසනවා.
කෙසේ වෙතත්, සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සඳහා අමෙරිකාව විසින් ඉරානය ඉදිරිපත් කර ඇති කොන්දේසි සපුරාලිය යුතු බවයි ඉරානය අවධාරණය කරන්නේ.
අමෙරිකානු ප්‍රහාරවලින් සිදුවූ හානි සඳහා වන්දි ලබාදීම, ඉරානයට සහ එහි හිතවාදී පාර්ශ්වයන්ට එල්ල කරන ප්‍රහාර හා තර්ජන නතර කිරීම, පර්සියානු ගල්ෆ් කලාපයේ අමෙරිකානු නාවික මෙහෙයුම් අවසන් කිරීම එම කොන්දේසි අතර වනවා.
එමෙන්ම ඉරානයට පනවා ඇති සම්බාධක ඉවත් කිරීම සහ අත්හිටුවා ඇති ඉරාන දේපළ නිදහස් කිරීමද අමෙරිකාව සිදුකළ යුතු බව ඉරානය පවසනවා.
ඉරාන විදේශ අමාත්‍ය අබාස් අරක්චි සඳහන් කර ඇත්තේ ඕමානය සමඟ ඇතිකර ගැනීමට නියමිත එකඟතාව අනුව නව නාවික මාර්ග තීරණය කළ හැකි බවයි.
එහෙත්, අමෙරිකාව සිය කොන්දේසි සපුරාලන තෙක් හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට ඉරානය සූදානම් නොමැති බවද ඔහු පවසා තිබෙනවා.
ජූනි මාසයේදී ඇතිකරගත් අතුරු එකඟතාව අමෙරිකාව උල්ලංඝනය කර ඇති බැවින් මේ වනවිට දෙරට අතර සෘජු සාකච්ඡා සිදුනොවන බවද ඉරාන විදේශ අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.
ඒ වෙනුවට මැදිහත්කරුවන් හරහා පමණක් දෙපාර්ශ්වය අතර පණිවිඩ හුවමාරු වන බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ.
මේ අතර, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ ඉරානය සම්බන්ධයෙන් තමන් දැඩි මැදිහත්වීමක් සිදුනොකර, එරටට එල්ල වී ඇති ආර්ථික පීඩනයේ බලපෑම නිරීක්ෂණය කරමින් සිටින බවයි.







Leave a Reply