නීතිපතිවරයා යම් නඩුවක් ඉල්ලා අස්කර ගනු ලබන්නේ නම් අගතියට පත්වූ පාර්ශවයට ඊට හේතුව දැනුම් දිය යුතු බවට නීති සංශෝධනයක් ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ සිදු කරන බව ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා පවසනවා.
මව්බිම පුවත්පතට ප්‍රකාශයක් ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.
ඔහු කියා සිටින්නේ ජාතික ජන බලවේග ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මෙම කරුණ සඳහන්ව ඇති බවයි.
නීතිපතිවරයා යනු රාජ්‍ය පාලනයේ කොටසක් වන බවත් මේ අනුව නීතිපතිවරයා මහජනයාට පිළිතුරු දීම රාජ්‍ය පාලනයේ වගවිමේ කොටසක් බවත් ඒ මහතා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.
සමාජීය ලෙස ඉහළ අවධානයක් යොමු වූ ලසන්ත වික්‍රමතුංග ඝාතන විමර්ශනය වැනි සිදුවීමකදී එහි සාක්ෂිකරුවන් නිදහස් කිරීම ගැන රටට කරුණු පැහැදිලි කිරීමට නීතිපතිවරයාට යුතුකමක් ඇති බවද ජනාධිපති නීතිඥවරයා පවසනවා.
ඔහු පවසන්නේ නීතිපති දෙපාර්තමේන්තුව වැනි ආයතනවල විශ්වසනීයත්වය බිඳ වැටෙන්නේ නම් එවැනි අවස්ථාවල මුනිවත රකින ප්‍රතිපත්තිය හේතුවෙන් බවයි.
මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ යන ආණ්ඩු කාලවලදී සුවිශේෂී නඩුවලින් ඇතැම් පුද්ගලයන් නිදහස් කිරීමට නීතිපතිවරයා කටයුතු කළ බවත් ජාතික ජන බලවේගයට රාජ්‍ය බලය ලබා දුන්නේද එවැනි තත්ත්වයන් වැළැක්වීමට බවත් ඒ මහතා වැඩිදුරටත් පවසනවා.
Leave a Reply