Loading...

,

පොලිසියට සිල්ලර වූ අපේ මූලික අයිතිවාසිකම්…

ශ්‍රී ලංකා පොලිසිය යනු රටේ මූලික නීතිය ආරක්ෂා කරන්න සිටින ප්‍රමුඛතම ආයතනය කිවහොත් නිවැරදි. නමුත් මේ පුවත එම ආයතනයම මූලික නීතිය කඩ කරන්න දායක වන ආකාරය පිලිබඳයි.

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ රියදුරු අත්අඩංගුවට ගැනීමට ගිය කොළඹ අපරාධ කොට්ඨාසයේ වත්මන් අධ්‍යක්ෂ නෙවිල් වර්ගින්ටන් ද සිල්වා සහ එහි ප්‍රධාන පොලිස් පරීක්ෂක වෙදරාලලාගේ අජිත් ශාන්ත මෙත්තානන්ද යන දෙදෙනා එම රියදුරුගේ බිරිඳගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. ඒ පිලිබදව තරිඳු ජයවර්ධන ගේ සවිස්තර සටහන පහතින්…


සීසීඩියේ නෙවිල් රාජ්‍ය සේවයටවත් ගැලපෙන්නේ නෑ ; විනය පියවර ගන්නැයි පොලිස් කොමිසමට නියෝග

තවද වර්තමාන පොලිස්පතිවරයා වන දේශබන්දු තෙන්නකෝන්ද මූලික අයිතිවාසිකම් කඩකිරීමකින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැරදිකරුවෙකු ලෙස ප්‍රකාශ කරන්නේ ඔහු වැඩබලන පොලිස්පති තනතුර දරන කාලයේදීය. සිද්ධාලේප නඩුව ලෙස සමාජ මාධ්‍ය තුළ බොහෝ සෙයින් කතාබහට ලක් වූයේ මෙම නඩු තීන්දුවයි.

මෙම තීන්දු වලින් පසුව ශ්‍රී ලංකා පොලිසිය හෝ ශ්‍රී ලංකා පොලිස් කොමිසම මෙවැනි පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් කඩකළ නිලධාරීන්ට ගන්නා ලද ක්‍රියාමාර්ගය කුමක්දැයි රටම බලා සිටි මොහොතක සිදුවූයේ එවැනි නිලධාරියෙක් පොලිස්පති තනතුරට උසස් වීමයි. ඒ හැර මෙම වරදට ඔහුට කිසිදු විනය ක්‍රියාමාර්ගයක්,වැඩ තහනමට ලක්වීමක් හෝ අවම වශයෙන් අවවාද කිරීමක් හෝ සිදුවූ බවට මාධ්‍යට වාර්තා නොවිය.

තවදුරටත් මෙවැනි නිලධාරීන් පොලිස් සේවයේ ඒ අයුරින්ම රාජකාරී ඉටු කරයි නම් පුරවැසියාගේ මූලික අයිතිවාසිකම් ඔවුන් ආරක්ෂා කරන්නේ කෙසේද යන්න ප්‍රශ්න සහගත වන්නේ එම නිසයි. මෙවැනි පුරවැසියාගේ මූලික අයිතිවාසිකම් කඩකළ බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසානාත්මකව තීන්දු වූ නිලධාරීන් තවත් සිටියද? සිටි නම් ඔවුන්ට ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද?

මූලික අයිතිවාසිකම් යනු ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හඳුන්වාදුන් සෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුටම හිමි, 15 වන ව්‍යවස්ථාවහි ප්‍රකාශ කර ඇති ආකාරයට හැර වෙනත් කිසිලෙසකින් සීමා කළ නොහැකි අයිතිවාසිකම් කොටසක්.මේවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 වන ව්‍යවස්ථාවේ සිට 17 වන ව්‍යවස්ථාව දක්වා ඇතුලත්. මේ අතරට අලුතෙන්ම එක් වු මූලික අයිතිය වන්නේ 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත හරහා එක් වු “තොරතුරු දැනගැනීමේ අයිතියයි“.

මෙම තොරතුරු දැනගැනීමේ අයිතියම භාවිතා කර ඉහත ප්‍රශ්නයට තොරතුරු ශ්‍රී ලංකා පොලිසියෙන් ලබා ගැනීමට අප තීරණය කළා… ඒ සඳහා ශ්‍රී ලංකා පොලිසියෙන් කල තොරතුරු ඉල්ලීම පහතින්.

ශ්‍රී ලංකා පොලිසියෙන් කල තොරතුරු ඉල්ලීම…

එම තොරතුරු ඉල්ලීමට නියමිත කාලය තුළ ප්‍රතිචාර දැක්වීමට ශ්‍රී ලංකා පොලිසිය අපොහොසත් වු නිසා තොරතුරු ඉල්ලීම අභියාචනයට ලක් කරන ලදී..

ශ්‍රී ලංකා පොලිසියෙන් කල තොරතුරු ඉල්ලීමට කල අභියාචනය…

එම අභියාචනයටද නියමිත කාලය තුළ ප්‍රතිචාර දැක්වීමට අපොහොසත් වු ශ්‍රී ලංකා පොලිසිය ඉන් අනතුරුව අසම්පූර්ණ තොරතුරු ලබාදීමක්සි සිදුකර තිබුණි.

තොරතුරු ඉල්ලීමට ශ්‍රී ලංකා පොලිසියෙන් ලද ප්‍රතිචාරය

එම තොරතුරු වලට අනුව පසුගිය වසර පහ ඇතුළත මූලික අයිතිවාසිකම් කඩකළ බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසානාත්මකව තීන්දු වුන නිලධාරින් 13 දෙනෙක් සිටින බව ශ්‍රී ලංකා පොලිසිය පැවසුවත්, ඔවුන් වර්තමානයේ දරන තනතුර සහ නම හෙළි කිරීමට ශ්‍රී ලංකා පොලිසිය ප්‍රතික්ෂේප කර ඇත. එයින් මෙම නිලධාරීන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නවා වෙනුවට ඔවුන් තවදුරටත් ආරක්ෂා කිරීමට පොලිසියම කටයුතු කරන්නේද යන්න පිලිබඳ බලවත් සැකයක් පුරවැසියන්හට ඇති වෙයි.

ශ්‍රී ලංකා පොලිසියේ ගෞරවය රඳා පවතින්නේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩකල මෙවැනි නිලධාරීන් සඟවා තබා ගැනීමෙන් යැයි ඔවුන් සිතනවා විය හැක. නමුත් සිදුවිය යුත්ත නම් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැරදිකරුවෙක් වූ පසුව හෝ එම නිලධාරින් විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගෙන යළි මෙවැනි ක්‍රියාවලට පොලිස් නිලධාරින් යොමු වීම අධෛර්යමත් කිරීම බව අපගේ විශ්වාසයයි.

රටේ මූලික නීතිය ආරක්ෂා කිරීමට සිටින ප්‍රමුඛතම ආයතනයේ නිලධාරීන් අමු අමුවේම එය උල්ලංඝනය කර තවදුරටත් එම නිලධාරින් වසන් කිරීම, කිසිදු ශිෂ්ඨ සමාජයක් අනුමත නොකරන මෙවැනි ක්‍රියාවන්ට වක්‍රාකාරව අනුබලදීමක් නොවන්නේද?

එසේත් නොමැති නම් වර්තමාන පොලිස්පතිවරයාද ඇතුළුව මූලික අයිතිවාසිකම් කඩ කර ඇති මෙම නිලධාරීන් හට නිසි ක්‍රියාමාර්ගයක් ගැනීමට ශ්‍රී ලංකා පෝලිසිය මෙතරම් මැලි වන්නේ ඇයි?

මෙවැනි ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයකට පවා නිසි ක්‍රියාමාර්ග නොගන්නා ආයතනයක් තුළින් ඔබට “යුක්තියක්” බලාපොරොත්තු විය හැකිද?


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *