Loading...

ක්‍රිකට් ප්‍රතිසංවිධාන පනත් කෙටුම්පත ගැසට් කිරීමට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත්කර, අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනය, නියාමනය, ප්‍රවර්ධනය, සංවර්ධනය මෙන්ම පරිපාලන කටයුතු වඩාත් විධිමත් ලෙස සිදුකිරීම සඳහා නව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයක් පිහිටුවීම මෙම පනත් කෙටුම්පතේ ප්‍රධාන අරමුණයි.

යහපාලනය, සුපිළිපන්නභාවය, විනිවිදභාවය, වගකිවයුතුභාවය, ඇතුළත්භාවය සහ සමාන අවස්ථා සැලසීම යන මූලධර්ම ඔස්සේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය උදෙසා අවශ්‍ය නීතිමය විධිවිධාන රැසක් ඊට ඇතුළත්ව තිබීම විශේෂත්වයක්.

එමෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ සියලු පාර්ශ්වවල සුබසාධනය ආරක්ෂා කිරීම සහ දූෂණයෙන් හා අනෙකුත් අනිසි ක්‍රියාකාරකම්වලින් ක්‍රිකට් ක්‍රීඩාව මුළුමනින්ම ආරක්ෂා කරගැනීම සඳහා අවශ්‍ය බලතල හා කාර්යයන් ද මෙම පනත් කෙටුම්පත මගින් නියම කිරීමට අපේක්ෂිතයි.

2026 ජූනි මස 8 වනදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිසංවිධානය සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට මීට පෙර අනුමැතිය හිමිව තිබුණා.

ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කළ අදාළ පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාශනය ද මේ වන විට ලැබී තිබෙනවා.

අනතුරුව එය රජයේ ගැසට් පත්‍රයේ පළ කර අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවටයි මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත්තේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Latest