හිටපු අමාත්ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ මහතාට අයත් බැංකු ගිණුම් 4ක් සහ සුඛෝපභෝගී මෝටර් රථ දෙකක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් තහනම් කර තිබෙනවා.
තහනම් කරන ලද අදාළ බැංකු ගිණුම්වල රුපියල් කෝටි 4ක පමණ මුදලක් තිබී ඇති බව අල්ලස් කොමිසමේ ආරංචි මාර්ග පවසනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටි ප්රබල මත්ද්රව්ය ජාවාරම්කරුවකු වන “හරක් කටා” නමැත්තා ආරක්ෂිත බන්ධනාගාරයකට යොමු කරදීම සඳහා ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක අල්ලස් මුදලක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රඛිත රාජපක්ෂ ඇතුළු තිදෙනෙකු අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.
පසුව කොළඹ මහේස්ත්රාත් අධිකරණය මඟින් මොවුන් ඇප මත මුදාහැරිය ද, අල්ලස් ලෙස ලබාගත් බව කියන රුපියල් කෝටි 12ක මුදල මෙතෙක් සොයාගැනීමට නොහැකි වීම හේතුවෙන් සැකකරුවන්ගේ දේපළ සම්බන්ධයෙන් අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත යටතේ අල්ලස් කොමිසම විශේෂ විමර්ශනයක් ආරම්භ කරන ලදී. ඒ අනුව මෙම තහනම් කිරීම සිදු කර ඇත.
මෙම දේපළ තහනම පිළිබඳව වාචිකව දැනුම්වත් කිරීම සඳහා විමර්ශන නිලධාරීන් අවස්ථා කිහිපයකදීම රඛිත රාජපක්ෂ මහතා පදිංචි රාජගිරියේ පිහිටි නිවාස සංකීර්ණය වෙත ගිය ද ඔහු එහි සිට නොමැත.
අනතුරුව අදාළ නිලධාරීන් විසින් රඛිත රාජපක්ෂ මහතාගේ බිරිඳ වෙත එම දැනුම්දීම සිදුකර ඇති බව අල්ලස් කොමිසම වැඩිදුරටත් සඳහන් කළා.







Leave a Reply