සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත තරඟ 3කින් යුත් එක්දින ක්‍රිකට් තරඟාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.
චරිත් අසලංක නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙක් ඇතුළත්.
එක්දින සංචිතය සඳහා චමිදු වික්‍රමසිංහ නම් කර ඇති අතර චාමික කරුණාරත්න සංචිතයේ ස්ථානය අහිමි වී තිබෙනවා.
ඉන්දීය එක්දින තරඟාවලියේ ආබාධයකට ලක්වීම හේතුවෙන් අහිමි වූ ඩිල්ෂාන් මදුෂංක යළි සංචිතයට කැඳවා ඇති අතර මතීෂ පතිරණ, අකිල ධනංජය, ඒෂාන් මාලිංග, කුසල් පෙරේරා හා ප්‍රමෝද් මදුෂාන් වැනි ක්‍රීඩකයින්ට සංචිතයේ ස්ථානයක් හිමිව නොමැති බව සඳහන්.
එක්දින තරඟාවලියේ දී ඔක්තෝබර් 20,23 සහ 26 යන දිනවලදී මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
මේ අතර තෙවන සහ අවසන් විස්සයි විස්ස තරඟාවලිය කඩුලු 9ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (17) සමත් වුණා.
දඹුල්ලේ පැවැති තරඟයේ කාසියේ වාසිය දිනා පළමු පන්දුවට පහරදුන් කොදෙව්වන් කඩුලු 8ක් දැවී ලකුණු 162ක් ලබා ගනු ලැබුවා.
කොදෙව් කණ්ඩායම වෙනුවෙන් පවෙල් ලකුණු 37 (27) ක් ද, මෝති ලකුණු 32 (15) ක් ද රැස් කිරීමට සමත් වුණා.
මහීෂ් තීක්ෂණ සහ වනිදු හසරංග ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කඩුලු දෙක බැඟින් දවා ගනු ලැබුවා.
ලකුණු 163ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18කදී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.
ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් පැතුම් නිස්සංක හා කුසල් මෙන්ඩිස් පන්දු 32 කින් ගොඩ නැගූ සම්බන්ධතාවය ලකුණු 60 කි.
පැතුම් ලකුණු 39කට දැවී යාම සමඟ එම සබඳතාව බිඳ වැටුණා. ඔහුගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 7ක් ඇතුළත්.
ඉන් අනතුරුව දෙවන කඩුල්ල සඳහා කුසල් මෙන්ඩිස් සමඟ කුසල් පෙරේරා ලකුණු 106ක සබඳතාවක් ගොඩනැගුවා.
කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු 50කින් නොදැවී ලකුණු 68කට රැස්කළ අතර ඊට හයේ පහර 3ක් හා හතරේ පහර 5ක් ඇතුළත් වුණා.
කුසල් පෙරේරා නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 55(36) ක්. හතරේ පහර 7ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.
ඒ අනුව තරඟ 3කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.
කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි 20 ද්විපාර්ශ්වික තරගාවලියක් ජය ගත් පළමු අවස්ථාව ලෙස මෙම ජයග්‍රහණය ඉතිහාසගත වනවා.








Leave a Reply