අල්ලස,දුෂණය, වංචාව, හොරකම ,ජනාධිපතිවරණ වේදිකාවේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත්තේය. ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් අල්ලස හා දුෂණයෙන් තොර රටක් නිර්මානය කරණ බවට මැතිවරණ වෙදිකාවලදි ප්‍රතිඥාදෙති. ඒ කොයි හැටි වුවද අපේ රට අල්ලස, දුෂණය, වංචාවෙන් කප්ගැසු රටකි. රාජ්‍ය තන්ත්‍රයද අල්ලස හා දුෂණයෙන් වෙලාගෙන තිබේ. දුෂණය යනු පගාව ගැනිම, නිත්‍යානුකුල නොවන අයුරින් තුටු පඩුරු ඉල්ලිම පමණක් නොවේ. නිල බලය අයුතු ලෙස යොදා ගනිමින් කරන වැරදි, අල්ලස, වංචාව, බලහත්කාරය, තීරණ ගැනීමේ අයිතිය වැරදි ලෙස යොදා ගැනීම, හිත මිත්‍ර සංග්‍රහ, ඥාති සංග්‍රහ, අසාධාරණ අයකිරීම්, පොදු දේපළ අයථා ලෙස පරිහරණය, නීති විරෝධී ප්‍රදාන කියන මේ සියලු දේ ම දූෂණය කියන වචනය තුළ ගැබ් වි ඇත්තේය.
දුෂණ සංජානන දර්ශකය අනුව අපේ රට දුෂණයෙන් වෙලාගෙන සිටින ආකාරය ඉතා මැනවින් පැහැදිලි වන්නේය. දුෂණ සංජානන දර්ශකයේ ශ්‍රේණිගත කිරිම්වලට අනුව ලෝකයේ රටවල් 180 අතුරින් 2002 වර්ෂයේ දි ශ්‍රිලංකාව 52 වැනි ස්ථානයට පත්ව තිබු අතර 2010 වර්ෂයේ දි 91 වැනි ස්ථානයට පත්විය.2012 වර්ෂයේ දි 79 දක්වා පහත වැටි තිබු අතර 2020 වර්ෂයේ දි යලි 94 දක්වා ඉහල අගයක් ගෙන තිබුණි. ශ්‍රි ලංකා මහබැංකුව විසින් 2022 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති වාර්ෂික වාර්තාවේ සදහන්වන ආකාරයට දුෂණ සංජානන දර්ශකයේ රටවල් 180 අතුරින් ශ්‍රිලංකාව (2022) වර්ෂයේ දි 101 වැනි ස්ථානයට පත්ව තිබේ. ශ්‍රි ලංකාව 101 වැනි ස්ථානයට පත්විමෙන් රට තුල දුෂණය බහුලව සිදුවන බවට පැහැදිලිවන බවද මහ බැංකු වාර්තාවේ සදහන් වේ. මෙම තත්වය හමුවේ දුෂණයට එරෙහි එක්සත්ජාතින්ගේ සම්මුතියට අනුකුල වන පරිදි දුෂණ විරෝධි පනත ගෙන ඒම ඉතාමත් සුදුසු බව මහ බැංකුව මගින් නිකුත්කොට ඇති වාර්තාවේ සදහන් වේ.කෙසේවුවද මේ වනවිට රජය මගින් දුෂණ විරෝධි පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කරගෙන තිබේ. දුෂණය පාලනය කිරිමේ ක්‍රියාමාර්ග හා විනිවිදභාවය ඉහල නැංවිමේ ක්‍රියාවලින් ශක්තිමත් කිරිම ද පලදායි නොවන රාජ්‍ය වියදම් කපාහැරිම ද ඉතා වැදගත් බව මහබැංකුව සදහන් කොට ඇත. එමෙන්ම රාජ්‍ය මුල්‍ය විචක්ෂණභාවය හා රාජ්‍ය මුල්‍ය අධික්ෂණය ශක්තිමත් කිරිම සදහා අඛණ්ඩව කැපවිය යුතු බවද මහබැංකුව විසින් නිකුත්කොට ඇති මෙම වාර්තාවේ තවදුරටත් සදහන් වේ.
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය විසින් සෑම වසරක් පාසා ඉදිරිපත් කරන දූෂණ සංජානන දර්ශකයේ ශ්‍රේණිගත කිරිම්වලට අනුව 2023 වර්ෂයේ දි ලෝකයේ රටවල් 180 අතුරින් ශ්‍රිලංකාව 115 වැනි ස්ථානයට පත්ව තිබේ..රාජ්‍ය ආයතන, සංස්ථා මණ්ඩල, හා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිමේ දි සිදුවි ඇති වංචා හා දුෂණ විගණන වාර්තා මගින්ද අනාවරණය කොට ඇත. එහෙත් ඒ සියල්ල විගණන වාර්තාවලට පමණක් සිමාවි තිබේ.
උදාහරණයක් වශයෙන් ගතහොත් මුදල් ආර්ථික ප්‍රතිපත්ති හා ස්ථායිකරණ අමාත්‍යංශයේ 2023 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති වාර්ෂික කාර්යසාධන වාර්තාවට ඇතුලත්ව ඇති විගණන වාර්තාවට අනුව ඉකුත් වසර 18ක කාලය තුල රාජ්‍ය ආයෝජන වශයෙන් රුපියල් බිලියන 10,145ක මුදලක් උපයෝජනය කරතිබුණි. මේ සදහා අවශ්‍ය අරමුදල් සපයාගෙන ඇත්තේ රාජ්‍ය ණය මගිනි. 2023 වර්ෂයේ රාජ්‍ය ආයෝජන ලෙස උපයෝජනය කොට ඇති මුදල රුපියල් බිලියන 932කි. මෙකි මුදල් වැයකොට ඇත්තේ භෞතික වත්කම් ඉදිකිරිම, මිලදිගැනිම හෝ වෙනත් ආයෝජන අත්පත්කරගැනිම සදහාය. ඉකුත් වසර 18 කාලය තුල (2006-2023) රාජ්‍ය ආයෝජන වශයෙන් උපයෝජනය කොට තිබු රුපියල් බිලියන 10,145ක මුදල වැයකොට භෞතික වත්කම් ඉදිකිරිම හෝ මිලදි ගැනිම, හා වෙනත් ආයෝජන අත්පත්කරගැනිම සිදුකොට තිබුණි.එහෙත්2023 වර්ෂයේ දි ඉන් මුල්‍ය නොවන වත්කම් ලෙස හදුනාගෙන ගිණුම්ගත කොට ඇත්තේ රුපියල් බිලියන 2,537කි. ඒ අනුව මුල්‍ය ප්‍රකාශවල සදහන්කොට තිබු භෞතික වත්කම් ඉදිකිරිම හෝ මිලදි ගැනිම හා වෙනත් ආයෝජන අත්පත්කරගැනිම සදහා වැයකොට තිබු රුපියල් බිලියන 10,145ක මුදලින් රුපියල් බිලියන 7,608ක් හෙවත් සියයට 75ක් වටිනා වත්කම් හදුනාගෙන ගිණුම්ගත කිරිමට අපොහොසත් වි තිබුණි. එසේනම් රුපියල් බිලියන7,608ක් වටිනා මෙකි වත්කම්වල සිදුවුයේ කුමක්ද? මහබැංකු වාර්තාවේ සදහන් වන ආකාරයට දුෂණය පාලනය කිරිම සදහා රාජ්‍ය මුල්‍ය අධික්ෂණය ශක්තිමත් කිරිම සදහා කටයුතු කළයුතුය.
අල්ලස හා දුෂණය රට ගිල ගනිමින් පවති. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පොදු දේපල සුරක්ෂිත කොට ආරක්ෂාකිරිමද, පොදු දේපල අයථා පරිදි ප්‍ර යෝජනයට ගැනිම සහ නාස්තිකිරිමට එරෙහිව ක්‍රියාකිරිමද ශ්‍රිලංකාවාසි සෑම තැනැත්තෙකුගේම යුතුකම වන්නේය. අල්ලස හා දුෂණයෙන් තොර ශ්‍රිලංකාවක් බිහිකිරිම සදහා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව පිහිටුවා ඇත්තේය.
අල්ලස, දුෂණය හා නිති විරෝධිවත්කම් ඉපයිම සම්බන්දයෙන් අපක්ෂපාති හා සාධාරණ විමර්ශනයක් සිදුකර අධිකරණ ක්‍රියාදාමයක් ක්‍රියාත්මක කිරිම තුලින් අල්ලස හා දුෂණයට එරෙහිවිම පිළිබදව සමාජයේ සියලු ජනකොටස්වල දැනුවත්භාවය ඉහල නැංවිම තුලින් ශ්‍රිලංකාවේ අල්ලස හා දුෂණය අවම කිරිමට කටයුතු කිරිම අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාවේ මෙහෙවර වේ. දුෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව වෙත මෙම වර්ෂයේ (2024) මුල්මාස හයතුල අල්ලස් හා දුෂණ සම්බන්දයෙන් පැමිණිලි 2142ක් ලැබි තිබුණි. එකි පැමිණිලි අතුරින් අල්ලස් පැමිණිලි 158ක්, දුෂණ පැමිණිලි 379ක්, අයුතු වත්කම් ඉපයිම් පිළිබද පැමිණිලි 79ක් විමර්ශන කොමිසම් සභාව වෙත ලැබි තිබුණි. එමෙන්ම විමර්ශන කොමිසම් සභාව විසින් මෙම වර්ෂයේ මුල්මාස හය තුල සිදුකරණු ලැබු වැටලිම් වලින් පුද්ගලයින් 26 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.
අත්අඩංගුවට ගනු ලැබු සැකකරුවන් අතර රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමණාකරණ රාජ්‍ය අමාත්‍යංශයේ ප්‍රවාහන නිලධාරිවරයකු, ශ්‍රිලංකා පොලිසියේ උපපොලිස් පරික්ෂකවරයකු ,පොලිස් කොස්තාපල්වරු සිව් දෙනෙකු,පොලිස් සැරයන්වරු 03 නෙකු, ප්‍රා දේශිය ඉංජිනේරු,ග්‍රාම නිලධාරින්, කාති විනිසුරුවරුන්, කම්කරුනිලධාරියකු හා විදුහල්පතිවරයකු ද සිටින බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව මගින් නිකුත්කොට ඇති ප්‍රගති වාර්තාවේ සදහන් වේ. මෙම කාලසිමාව තුල අල්ලස් සම්බන්දයෙන් පුද්ගලයින් 19 දෙනෙකුට, දුෂණ සම්බන්දයෙන් පුද්ගලයින් 05දෙනෙකුට සහ වත්කම් බැරකම් හෙලිනොකිරිම හා අයුතුවත්කම් ඉපයිම සම්බන්දයෙන් පුද්ගලයෙකුට ඇතුල 25 දෙනෙකුට නඩු පවරා තිබුණි. නඩු පවරණු ලැබු විත්තිකරුවන්ගෙන් වරදකරුවන් වු සංඛ්‍යාව 11 දෙනෙකි.
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව සම්බන්දයෙන් 2023 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති කාර්යසාධන වාර්තාවට අනුව ඉකුත් වර්ෂයේ දි (2023) කොමිසම් සභාව වෙත පැමිණිලි 3,431 ලැබි තිබුණි. මින් පැමිණිලි කමිටුව වෙත යොමුකොට තිබු පැමිණිලි සංඛ්‍යාව 2,789කි.විමර්ශන සදහා අල්ලස් පැමිණිලි 131, දුෂණ පැමිණිලි 945,අයුතු වත්කම් ඉපයිම් සම්බන්ද පැමිණිලි 76ක් ඇතුළු මුළු පැමිණිලි 1,152ක් සදහා නියෝග ලැබි තිබු බවද මෙම වාර්තාවේ සදහන් වේ.
ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් කර නොතිබිම සහ අල්ලස් පනතට අදාල නොවිම හේතුවෙන් තවදුරටත් කටයුතු නොකිරිමට තින්දුකොට ඇති පැමිණිලි සංඛ්‍යාව 766කි. කොමිසම් සභා පනතට අදාල නොවු බැවින් ඉදිරි කටයුතු සදහා වෙනත් ආයතන වෙත පැමිණිලි 613ක් යොමුකොට තිබු බවද මෙම වාර්තාවේ සදහන් වේ. මෙකි දත්තයට අනුව පැමිණිලි කමිටුව වෙත ඉදිරිපත් කරන ලද පැමිණිලි වලින් සියයට 49ක්, කොමිසම් සභා පනතට අදාළ පැමිණිලි හෝ ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් නොකරණ ලද පැමිණිලි බව සදහන් කළ යුතුය.
ඉකුත් වර්ෂය තුල විමර්ශන කටයුතු අවසන් කළ ගොනු සංඛ්‍යාව 3219කි.එමෙන්ම ඉකුත් වර්ෂය තුල අල්ලස්, දුෂණ, වත්කම් බැරකම් හෙලි නොකිරිම පිළිබද නඩු 60 මහේස්ත්‍රාත් හා මහාධිකරණයේ පවරා තිබුණි. මින් මහාධිකරණයේ නඩු පවරා ඇති චුදිතයින් සංඛ්‍යාව 71කි. එම චුදිතයින් අතර උතුරුමැද පළාත් සභාවේ හිටපු ප්‍රධාන ඇමතිවරයකු, නාගරික සංවර්ධන අධිකාරියේ ඌව පළාතේ අධ්‍යක්ෂකවරයකු, උප පොලිස් පරික්ෂකවරු 07 දෙනෙකු, පොලිස් කොස්තාපල්වරුන් 09 දෙනෙකු, පොලිස් පරික්ෂකවරුන් 02නෙකු, සහකාර පොලිස් අධිකාරිවරුන් 02 නෙකු, කම්කරු නිලධාරින් 03නෙකු, ග්‍රාම නිලධාරින් 02 නෙකු, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂකවරයකු, හිටපු වරාය අධිකාරියේ සභාපතිවරයකු, සිවිල් පුද්ගලයින් 13 දෙනෙකු ඇතුළු පිරිසක් සිටින බව මෙකි වාර්තාවේ සදහන් වේ.
ඉකුත් වර්ෂය තුල මහේස්ත්‍රාත් හා මහාධිකරණ යන අධිකරණ විසින් නඩු 69ක් අවසන්කොට තිබුණි. මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබු අල්ලස් නඩු වලින් 04 දෙනෙකු වරදකරු වි තිබු අතර 04 දෙනෙකු නිදොස්කොට නිදහස් වි තිබුණි. පවරා තිබු දුෂණ නඩු 01ක ඉල්ලා අස්කරගෙන තිබුණි. මහාධිකරණයේ අවසන්කොට තිබු නඩුවලින් අල්ලස් නඩු සම්බන්දයෙන් 15 දෙනෙකු වරදකරු වි තිබුණි. අල්ලස් නඩු වලින් 20 දෙනෙකු, දුෂණ නඩු වලින් 01 අයෙකු,අයුතු වත්කම් ඉපයිමේ නඩු වලින් එක් අයෙකු නිදොස්කොට නිදහස් වි තිබුණි.
කොමිසම් සභාව විසින් ඉකුත් වර්ෂය තුල අල්ලස් හා දුෂණ සම්බන්දයෙන් කරණු ලැබු වැටලිම් වලින් සැකකරුවන් 57 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගනු ලැබු සැකකරුවන් අතර හිටපු පාර්ලිමේන්කු මන්ත්‍රිවරයකු, ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපතිවරයකු, පොලිස් පරික්ෂක, උපපොලිස් පරික්ෂක,විදුහල්පති, ග්‍රාම නිලධාරින් ඇතුළු රාජ්‍ය නිලධාරින් වන බව මෙම වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.
අල්ලස හා දුෂණයෙන් තොර රටක් බිහිකිරිමේ දි අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව ද අභියෝග රැසකට මුහුණ දි සිටිති. වඩාත් යහපත් හෙට දිනක් සදහා අල්ලස හා දුෂණයට එරෙහිව නැගි සිටිම සෑම පුරවැසියෙකුගේම වගකිමකි. එහෙත් දුෂිත රාජ්‍ය නිලධාරින්, පිළිබද පැමිණිලි ඉදිරිපත් කිරිමට සහ අවශ්‍ය අවස්ථාවලදි සාක්ෂි ලබාදිමට ජනතාව දක්වන සහයෝගය ඉතා අවම මට්ටමක පවති. ඒ විතරක් නොව දේශපාලනඥයින්ගේ මහාපරිමාන, අල්ලස් හෝ දුෂණ පිළිබද පැමිණිලි ඉදිරිපත් කිරිමට ව්‍යාපාරිකයින්, ආයෝජකයින් වැනි පාර්ශව ඉදිරිපත් නොවිමද බරපතල ගැටළුවකි. අල්ලසට හා දුෂණයට එරෙහිව වැඩපිළිවෙළක් රාජ්‍ය අංශය තුල ක්‍රියාත්මක කිරිම සදහා රාජ්‍ය නිලධාරින්ගේ ඇති උනන්දුව ඉතා අවම මට්ටමක පවති. විවිධ විෂය ක්ෂේත්‍රයන් පිළිබදව විශේෂඥ දැනුමක් සහිත විශේෂිත විමර්ශන නිලධාරින් ආයතනය සතු නොවිම ද අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව මුහුණ දි ඇති අභියෝගයකි.
එමෙන්ම දුෂණ නඩු අධිකරණයේ දි ඔප්පු කිරිම සදහා ලේඛණ මත පදනම් වු සාක්ෂි ඉදිරිපත් කළ යුතුය. එවැනි සාක්ෂි සපයා ගැනිම දුෂ්කර කටයුත්තක් බවට පත්ව ඇත. අල්ලස් කොමිසම් සභාවේ කාර්ය මණ්ඩලයට ප්‍රමාණවත් කාර්ය මණ්ඩල ඉඩකඩ පහසුකම් නොමැතිවිමද ගැටළුවකි. රජයේ ප්‍රසම්පාදන කටයුතු සම්බන්දයෙන් දැනට ක්‍රියාත්මක වන ක්‍රියාපටිපාටිය අනුව සිදුවන වංචා හා දුෂණ ලිපි ලේඛන තුලින් අනාවරණය කරගැනිමට නොහැකිවි ඇත.
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාවේ කාර්යමණ්ඩල තොරතුරු අනුව ඉකුත් වර්ෂය (2023) අවසන් වනවිට ජේ්‍යෂ්ඨ මට්ටමේ පුරප්පාඩු 38ක්, තෘතිය මට්ටමේ පුරප්පාඩු 204ක්, ද්විතික මට්ටමේ පුරප්පාඩු 189ක්, හා ප්‍රාථමික මිට්ටමේ පුරප්පාඩු 60ක් පැවතුණි. විමර්ශන නිලධාරි තනතුරු 200ක්, සහකාර අධ්‍යක්ෂක (නිති) නිලධාරි තනතුරු 20ක් දුෂණ නිවාරණ නිලධාරි තනතුරු 36ක් පුරප්පාඩුව පැවතිම නිසා ආයතනයේ කටයුතු පවත්වාගෙන යාමේ දි ගැටළු රැසකට ලක්ව ඇත. පසුගිය කාලය තුල අල්ලස් හා දුෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාවට ලැබි ඇති පැමිණිලි අතුරින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වි ඇති දුෂණ සම්බන්දයෙන් ද පැමිණිලි රැසක් ලැබි තිබුණි.
සිවිල් පුරවැසි අරගල ව්‍යාපාරය සහ ආර්ථික යුක්තිය උදෙසා ජනතා සාමූහිකයේ කැදවුම්කරු දර්ශන තන්ත්‍රිගේ මහතා කිවේ මෙවැනි කථාවකි
“2023 සැප්තැම්බර් 15 සිට මේ දක්වා අපි පැමිණිලි 650 ක් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව වෙත ඉදිරිපත් කරල තියෙනවා මහා පරිමාණ දූෂණ හා වංචා ගැන. අපි ඉදිරිපත් කලේ රුපියල් ලක්ෂ 10 ට වැඩි දූෂණ හා වංචා පිළිබද පැමිණිලි.. අපි ඉදිරිපත් කළ කළ කළ පැමිණිලි වලින් එක් පැමිණිල්ලක් පමනක් විමර්ශන ඉදිරියට ගෙන යා නොහැකිව නවත්වා තිබෙනවා. පැමිනිල්ලක සාර්ථක ප්‍රතිපල හදිසියට ලැබෙන්නෙ නෑ. දූෂණයක් වෙලා තියේද? කරල තියෙන්නෙ කවුද? ඒ අයුතු ලාභය ලැබුනෙ කාටද? ඒ කොපමණ ප්‍රමාණයක්ද? ඒක කරල තියෙන්නෙ කොහොමද ? ඔය වගේ පැමිනිල්ලෙන් ඉදිරිපත් කරන කරුණු සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීම සදහා විමර්ශන මගින් තහවුරු කරගැනීම අල්ලස් කොමිසම කරනවා. සාමාන්‍යයෙන් අපි ඉදිරිපත් කරපු පැමිණිලි ගැන බොහොම ඉක්මනින් විමර්ශන ආරම්භ වුනා.වර්තමාන දූෂණ විරෝධි පනත ඉතාම ශක්තිමත්. ඒහි යම් අඩුපාඩු තියෙනවා.නැතිව නොවෙයි. කොහොම නමුත් තිබ්බ පනතට වඩා පනත ශක්තිමත්. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට තව තවත් පහසුකම් තාක්ෂණය ලබා දිය යුතු බවත් නීතීපති දෙපාර්තමේන්තුවෙන් ස්වාධිනව නඩු මෙහෙයවීමට කොමිෂන් සභාවට බලය දිය යුතු බවත් අපි විශ්වාස කරනවා” යැයි හෙතෙම සදහන් කළේය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකොරල මහතා මෙසේ කිවේය.
“ලංකාව අනිකුත් රටවල් හා සැසදිමේ දි ඉතා විශාල වශයෙන් අල්ලස් හා දුෂණ තත්ත්වයන් සිදුවන රටක් මුල්‍යමය අල්ලස් පමණක් නෙවෙයි. ලිංගික අල්ලස් පවා වාර්තාවෙනවා. අල්ලස් හා දුෂණ ක්‍රියාත්මක විමට අවශ්‍ය පරිසරය ගොඩනගලා තියෙන නිසා නිතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මහාපරිමාන අල්ලස් දුෂණ සම්බන්දයෙන් අත්අඩංගුවට ගනු ලබන නිලධාරින්, පුද්ගලයින් සම්බන්දයෙන් ඇතැම්විට මාධ්‍ය සංදර්ශන බවට විතරයි පත්වෙන්නේ. තොරතුරු හා සාක්ෂි පදනම් කරගෙන ඔවුන් වැරදිකරුවන් බවට පත්කිරිම හරිහැටි සිදුවන්නේ නැහැ. රාජ්‍ය නිලධාරියකු හරියට රාජකාරිය නොකිරිම තුලත් යම්කිසි අයුරින් වංචාවක් සිදුවෙනවා.රට තුල සෑම ක්ෂේත්‍රයක් තුලම තම වගකිම් හරිහැටි ඉටු නොකරමින් අල්ලස් හා දුෂණ මත පදනම් වෙලා කටයුතු කරණවා. මේ වනවිට පවතින නිති රාමුව අල්ලස් හෝ දුෂණ මැඩලිමට වඩා අල්ලස් හා දුෂණවලට පවතින අවස්ථාවන් වැඩිකිරිමක් තමයි සිදුවෙලා තියෙන්නේ. උදාහරණයක් වශයෙන් ගතහොත් ඉඩම් ගොඩකිරිම ඉතා අපහසු කාර්යක්. නමුත් මේ තුලින් නිලධාරින්ට අවස්ථාව ලැබෙනවා කියක් හෝ අරගෙන මෙම කාර්ය කරලා දෙන්න. අල්ලස හා දුෂණය මැඩලිමට තියෙන්නේ ආකාර දෙකයි. නිතිය හරියට ක්‍රියාත්මක කිරිම, සියලු දේවල් මාර්ගගත ක්‍රමයට ක්‍රියාත්මක විය යුතුයි. රටක් ඩිජිටල්කරණය කිරිම අල්ලස හා දුෂණය මැඩලිමට දැඩි පිටුවහලක් වෙනවා”
1954 වර්ෂයේ මාර්තු මස 01 වැනි දින අල්ලස් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් එවකට අගමැතිවරයා වශයෙන් කටයුතු කරණු ලැබු සර් ජොන් කොතලාවල මහතා මෙසේ කිවේය.
″මෙම පනත වලංගු වු විට දුෂණ ක්‍රියා ගැන වැරදිකරුවන් වන සියල්ලන්ම අල්ලා ගැනිමට අපිට බලය ලැබෙනු ඇත. මේ රටේ සෑම පුරවැසියෙකුම සහයෝගය නොදක්වතොත් මෙම පනත නිති සංග්‍රහයට ඇතුලත් කිරිමෙන් වැඩක් සිදුනොවේ. මෙරට මහජනයා යුතුකම පිළිබද පොදු හැගිමෙන් යුක්තව ඉදිරියට විත් අල්ලස් දුෂණ ක්‍රියා නැවැත්විම සදහා අපට ආධාර දිය යුතුය”
ඒ අනුව අල්ලස හා දුෂණයෙන් තොර රටක් නිර්මානය කිරිම සදහා සෑම පුරවැසියෙකුම ඒ සදහා සහයෝගය ලබාදිය යුතුය.
සටහන – ලලිත් චාමින්ද








Leave a Reply