අයවැය කාල සීමාව තුළ පනත් කෙටුම්පත් ත්‍රිත්වයක දෙවැනිවර කියවීමේ විවාදයන් පැවැත්වීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසනවා.
ඊයේ (20) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ සභාපතිත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව නොවැම්බර් 23 වැනි සඳුදා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයෙන් අනතුරුව පස්වරු 6.00 සිට 6.30 දක්වා විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන් වැළැක්වීමේ පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතයි.
එමෙන්ම දෙසැම්බර් 5 වැනි සෙනසුරාදා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයෙන් පසුව පස්වරු 6.00 සිට රාත්‍රී 9.00 දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
දෙසැම්බර් 7 වැනි සඳුදා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ සහ කම්කරු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයෙන් අනතුරුව පස්වරු 6.00 සිට 6.30 දක්වා ජලභීතිකා රෝගය තුරන් කිරීමේ සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාව සහ තෙවැනිවර කියවීම පැවැත්වෙනු ඇති.
ඒ අනුව ඉහත සඳහන් දිනයන්හිදී සභාව කල් තබන අවස්ථාවේ යෝජනා විවාදයට නොගැනෙන බවයි මහ ලේකම්වරිය සඳහන් කළේ.
මේ අතර පාර්ලිමේන්තු විශේෂ කාරක සභා තුනක් පත් කිරීමට අදාළ යෝජනාවලට ද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.
කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මියගිය පුද්ගලයන්ගේ මෘත දේහයන් බැහැර කිරීමේදී නිර්දේශිත ප්‍රමිතීන්, ආරක්ෂිත ක්‍රියාපටිපාටි, සංස්කෘතික වටිනාකම් සහ ආගමික නිදහස උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බවට එල්ල වී ඇති චෝදනා විමර්ශනය කිරීම, ස්වාධීන තරුණ කොමිෂන් සභාවක් පිහිටුවීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සහ කාවන්තිස්ස ඇතාගේ මරණය හා වනජීවී ආරක්ෂණ නීති ක්‍රියාත්මක කිරීම පිළිබඳව විමර්ශනය කිරීම සඳහා මෙම විශේෂ කාරක සභා තුන පත් කිරීමට නියමිතයි.








Leave a Reply