Loading...

කස්සප හිමි ඇතුළු 7 දෙනාගේ ගැන වෛද්‍ය පරීක්ෂණ පවත්වන්නැයි අධිකරණයෙන් නියෝග

අනුරාධපුර රුවන්වැලි මහා සෑය අසල දන්සල් භූමියේ ඇති වූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා සිව්නම සහ ගිහි පුද්ගලයින් තිදෙනාගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරන ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා.

එමෙන්ම, ඔවුන් මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි සොයා බැලීම සඳහා ද වෛද්‍ය පරීක්ෂණයක් සිදුකරන ලෙසට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න මහතා නියෝග කර ඇත.

කලහකාරී සිද්ධිය අතරතුර පොලිස් භාරයට ගත් පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා සිව්නම සහ ගිහි පුද්ගලයින් තිදෙනා නොවැම්බර් 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියම කළා.

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු ස්වාමීන් වහන්සේලා තුන්නමක් මාරාන්තික උපවාසයක නිරතව සිටි රුවන්වැලිසෑය අසල දන්සල් භූමියේ දැඩි කලහකාරී තත්ත්වයක් හටගත්තේ, භික්ෂූත්වයෙන් නෙරපා ඇති බවට සඳහන් වන රාජාංගණයේ සද්ධාරතන නමැත්තා ඇතුළු පිරිසක් එම ස්ථානයට පැමිණීමත් සමඟයි.

එහිදී දෙපිරිස අතර ගැටුමක් හටගෙන ඇති අතර, එම ගැටුමේදී රාජාංගණයේ සද්ධාරතන නමැත්තාගේ හිසට පොලු ප්‍රහාරයක් එල්ල වී තිබුණා.

තුවාල ලැබූ ඔහු ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු අතර, පොලිස් භාරයට ගත් බලංගොඩ කස්සප හිමියන් ද අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබිණි. ඒ අනුව, රෝහල වෙත ගිය අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සිදුකළ නිරීක්ෂණයෙන් අනතුරුව මෙම රිමාන්ඩ් නියෝගය නිකුත් කෙරුණා.

මේ අතර, පසුගිය 11 වැනිදා ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් කර ඇති පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්, ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඒ බව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙන ලෙස ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අනුරාධපුර මූලස්ථාන පොලිසියට නියෝග කර ඇත.

මේ අතර, රාජාංගණයේ සද්ධාරතන නමැත්තා ප්‍රතිකාර ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලෙන් පිටව ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන අතර, ඔහු ආණ්ඩුවේ උවමනාවක් මත පැමිණ පූජා භූමියේ කලහකාරී තත්ත්වයක් ඇති කළ බවට පාර්ශ්ව රැසක් චෝදනා එල්ල වුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *