බන්ධනාගාර රැඳවියන්ගේ අධික තදබදය අවම කිරීම සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කිරීම සඳහා රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් අද (06) බන්ධනාගාර පරිශ්‍ර කිහිපයක නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබෙනවා.
ඒ අනුව, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය, නව මැගසින් බන්ධනාගාරය, කාන්තා බන්ධනාගාරය, වැලිකඩ බන්ධනාගාරය සහ බන්ධනාගාර රෝහල යන පරිශ්‍ර මෙලෙස නිරීක්ෂණයට ලක් වුණා.
මෙහිදී බන්ධනාගාරවල පවතින අධික තදබදය, මුළුතැන්ගෙයි කටයුතු, රෝහල් පහසුකම්, අන්තරාදායක ගොඩනැගිලි ඇතුළු සමස්ත ගොඩනැගිලිවල පවතින තත්ත්වය, අපජලය බැහැර වන කාණු පද්ධති මෙන්ම බන්ධනාගාර නිලධාරීන්ගේ පහසුකම් සහ ඔවුන් මුහුණ දෙන ගැටලු පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු වුණා.
මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මුජිබුර් රහුමාන්, නීතිඥ තුෂාරි ජයසිංහ සහ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර යන මහත්ම මහත්මීන් එක්ව සිටියා.
ඊට අමතරව, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ නිලධාරීන් මෙන්ම බන්ධනාගාර කොමසාරිස් ජනරාල් (වැඩ ආවරණ) ආර්. ප්‍රසාද් හේමන්ත කුමාර මහතා ඇතුළු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මෙම අවස්ථාවට සහභාගී වී තිබෙනවා.





Leave a Reply