ගෑස් සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට අපොහොසත් වීම, සැපයුම්කරුවන් පිළිබඳ ගැටලු සහ සිලින්ඩර තැන්පතු මුදල් ආපසු ලබාගැනීමේදී පාරිභෝගිකයන් මුහුණ දෙන දැඩි දුෂ්කරතා හේතුවෙන් මෙරට ගෑස් වෙළෙඳපොළ තුළ යළිත් උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා.
අඛණ්ඩව ගෑස් සැපයුම පවත්වාගෙන යාමට අපොහොසත් වීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින්, 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ ප්රතිපාදනවලට අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CAA) විසින් ලාෆ්ස් (Laugfs) ගෑස් සමාගමට එරෙහිව අලුත්කඩේ මහේස්ත්රාත් අධිකරණය හමුවේ නඩු පවරා ඇත.
එම නඩුවට අදාළව අධිකරණය විසින් ලාෆ්ස් ගෑස් සමාගමට සිතාසි නිකුත් කර ඇති අතර, නඩුව ලබන නොවැම්බර් 11 වනදා යළි කැඳවීමට නියම කර තිබෙනවා.
පසුගිය දෙසැම්බර් සහ අප්රේල් මාස ඇතුළු අවස්ථා කිහිපයකදී ලාෆ්ස් ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් කිරීම අඩාල වීම හේතුවෙන් පාරිභෝගිකයෝ දැඩි අපහසුතාවකට පත් වූණා.
ශ්රී ලංකාවේ භාවිතයට අවශ්ය ගෑස් සංයුතිය සඳහා බියුටේන් (Butane) සහ ප්රොපේන් (Propane) අතර නියමිත අනුපාතයක් පවත්වාගත යුතු වුව ද, එම සංයුතියෙන් විශාල තොග ලබාගැනීමේ අපහසුතා හේතුවෙන් ලාෆ්ස් සමාගමේ ගෑස් මිලදී ගැනීමේ ක්රියාවලිය සංකීර්ණ වී ඇති බව වාර්තා වනවා.
ලිට්රෝ ගෑස් සමාගමට සැපයුම් සපයන පාර්ශ්වයකින් කුඩා ප්රමාණවලින් ගෑස් ලබාගැනීමට ලාෆ්ස් සමාගම දැරූ උත්සාහය ද අසාර්ථක වී ඇත.
ලාෆ්ස් සමාගමට හම්බන්තොට පර්යන්තයේදී ගෑස් මිශ්ර කිරීමේ පහසුකම් පැවතිය ද, අදාළ ගිවිසුම්ගත කොන්දේසි අනුව එමඟින් දේශීය වෙළෙඳපොළට නිකුත් කළ හැක්කේ 20%ක ප්රමාණයක් පමණි.
දේශීය වෙළෙඳපොළට ගෑස් නිකුත් කිරීමේ මෙම 20% සීමාව වැඩිකර දෙන ලෙසත්, කර්මාන්ත ශාලා සඳහා වූ සැපයුම් සීමා ලිහිල් කරන ලෙසත් ලාෆ්ස් සමාගම ඉල්ලා සිටිය ද, වෙළෙඳ අමාත්ය වසන්ත සමරසිංහ මහතා පෙන්වා දී ඇත්තේ නීත්යනුකූල නොවන ලෙස එවැනි ඉඩක් ලබාදිය නොහැකි බවයි.
ඒ වෙනුවට ලිට්රෝ සමාගම හරහා ගෑස් සැපයුම ඉහළ නංවා, නිල් පැහැති ලිට්රෝ සිලින්ඩර වැඩි ප්රමාණයක් වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ලාෆ්ස් ගෑස් අර්බුදය හමුවේ ලිට්රෝ ගෑස් වෙත මාරුවීමට උත්සාහ කරන පාරිභෝගිකයන්ට ද දැඩි ආර්ථික පහරක් එල්ල වී ඇත. තමන් ලාෆ්ස් සිලින්ඩරය වෙනුවෙන් තැන්පත් කළ මුදල ආපසු ඉල්ලීමේදී, ක්ෂයවීමේ ගාස්තු කැපීමෙන් පසු සමාගම ලබාදීමට එකඟ වී ඇත්තේ රුපියල් 1,000ක පමණ මුදලකි.
කෙසේ වෙතත්, නව ලිට්රෝ සිලින්ඩරයක් මිලදී ගැනීමට රුපියල් 10,000කට අධික මුදලක් වැය කිරීමට සිදුවීම නිසා, තමන්ගේ වරදක් නොමැතිව අර්බුදයට මැදි වූ සාමාන්ය පාරිභෝගිකයාට දැවැන්ත අමතර පිරිවැයක් දැරීමට සිදුව තිබෙනවා.
මෙලෙස පාරිභෝගිකයන් දැඩි ප්රායෝගික හා ආර්ථික අපහසුතාවලට ලක්වීම හේතුවෙන් පාරිභෝගික අධිකාරිය අදාළ සමාගමට එරෙහිව නීතිමය බලතල ක්රියාත්මක කරමින් අධිකරණය හමුවට ගොස් ඇත.







Leave a Reply