හෝමාගම පොලිසියේ අත්අඩංගුවේ සිටියදී තරුණයකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්රී ලංකා නීතිඥ සංගමය නිකුත් කළ නිවේදනයේ සඳහන් ප්රකාශයක් තරයේ ප්රතික්ෂේප කරන බව පොලිස් මාධ්ය ප්රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා පවසනවා.
නීතිඥ සංගමය සිය නිවේදනයේ සඳහන් කර ඇති පරිදි තමන් කිසිදු අවස්ථාවක එවැනි ප්රකාශයක් සිදුකර නොමැති බව අවධාරණය කරන ඒ මහතා, නීතිඥ සංගමය විසින් සිදුකර ඇති එම ප්රකාශය පිළිබඳ තමන් කනගාටුවට පත්වන බව ද සඳහන් කළා.
හෝමාගම පොලීසියේ අත්අඩංගුවේ සිටියදී මියගිය ඉෂාර හර්ෂ කුමාර නමැති තරුණයාගේ මරණය සම්බන්ධයෙන් ශ්රී ලංකා නීතිඥ සංගමය මීට පෙර නිවේදනයක් නිකුත් කරමින් දැඩි කනස්සල්ල පළ කර තිබුණා.
එම නිවේදනය මඟින් පෙන්වා දී තිබුණේ, ඉෂාර හර්ෂ කුමාරගේ පවුලේ සාමාජිකයන් ඔහුට දැඩි ලෙස පහරදී ඇති බව පෙනී යන ශාරීරික තුවාල නිරීක්ෂණය කළ බව ප්රකාශ කරද්දී, ඊට පටහැනිව මෙහෙයුමක් අතරතුර සැකකරු හදිසි අසනීප තත්ත්වයකට මුහුණ දී ඇතැයි පොලිස් මාධ්ය ප්රකාශකවරයා ප්රකාශ කර ඇති බවයි.
එබැවින් මෙම මරණයට හේතු වූ පසුබිම ස්වාධීන ලෙස තහවුරු කර ගැනීමත්, ඉදිරිපත්ව ඇති පරස්පර ප්රකාශ පිළිබඳ විනිවිදභාවයකින් යුතු පරීක්ෂණයක් සිදු කිරීමත් අත්යවශ්ය බව නීතිඥ සංගමය පවසා තිබුණා.
කෙසේ වෙතත්, පොලිස් මාධ්ය ප්රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා නැවතත් අවධාරණය කරන්නේ තමන් කිසිදු අවස්ථාවක එවැනි ප්රකාශයක් සිදුකර නොමැති බවත්, නීතිඥ සංගමයේ අදාළ ප්රකාශය සම්පූර්ණයෙන්ම ප්රතික්ෂේප කරන බවත්ය.








Leave a Reply