කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක ජල සැපයුම හදිසියේම අත්හිටුවීමට සිදුවූයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවකින් පරිසරයට මුදාහැරි රසායනික ද්‍රව්‍යයක් හේතුවෙන් බව ජාතික ජල සම්පාදනය හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
ජලයට යම් අපද්‍රව්‍යයක් මුසුව ඇත්දැයි තහවුරු කරගන්නා තෙක් මහජන ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර ගත් බව එහි සභාපති චන්දන බණ්ඩාර මහතා සඳහන් කළා.
ඊයේ රාත්‍රී 11.30ට ඇතිවූ මෙම හදිසි තත්ත්වයත් සමඟම අඹතලේ සහ බියගම ජල පවිත්රාගාර තාවකාලිකව වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබුණා.
ඒ සමඟම ක්‍රියාත්මක වූ මණ්ඩලයේ රසඥයින් කණ්ඩායමක් උදෑසන වන තෙක්ම කැලණි ගඟේ ස්ථාන කිහිපයකින් ජල සාම්පල ලබාගනිමින් විශේෂ පරික්ෂණ පවත්වා ඇත.
ජලයේ සුරක්ෂිතභාවය තහවුරු වීමෙන් අනතුරුව අද උදෑසන 4.30 වන විට නැවතත් ජල නිෂ්පාදනය සහ බෙදාහැරීමේ කටයුතු ආරම්භ කෙරුණා.
මේ වන විට ජල සැපයුම සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්කර ඇති අතර, පරිසරයට රසායනික ද්‍රව්‍ය මුදාහැරි අදාළ පෞද්ගලික කර්මාන්ත ශාලාවට එරෙහිව තදින්ම නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසියට පැමිණිලි කර තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ආරක්ෂක අංශ එක්ව සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන පවත්වනවා.






Leave a Reply