Loading...

බුද්ධි තොරතුරු මත දෙවිනුවර පෙරහැරේ කාවඩි අංගය ඉවත් කරයි

ඓතිහාසික දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ මෙවර ඇසළ මහා පෙරහැරේ කාවඩි නර්තන අංගය පැවැත්වීම නතර කිරීමට තීරණය කර තිබෙනවා.

ජූලි 28 වනදා පැවැත්වීමට නියමිත 769 වන වාර්ෂික පෙරහැර සම්බන්ධයෙන් ලැබුණු බුද්ධි වාර්තා සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බව සඳහන්.

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් මාතර දිස්ත්‍රික් ලේකම්වරයා වෙත යොමු කළ නිර්දේශයකට අනුව, ජාතික බුද්ධි ප්‍රධානී, රාජ්‍ය බුද්ධි සේවාව, පොලිස් විශේෂ කාර්යාංශය සහ දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ වාර්තා මත මෙම තීරණය ගෙන තිබෙනවා.

ඒ අනුව, මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න මහතා දෙවිනුවර බස්නායක නිලමේවරයා වෙත දැනුම් දී ඇත්තේ පෙරහැරෙන් කාවඩි නර්තන අංගය ඉවත් කරන ලෙසයි.

කාවඩි කණ්ඩායම් තෝරා ගැනීම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධකරුවන් අතර මතභේදාත්මක තත්ත්වයක් ඇතිවීමත්, ඒ ආශ්‍රිතව තර්ජනාත්මක ප්‍රකාශ හුවමාරු වීමත් හේතුවෙන් මහජන ආරක්ෂාවට අවදානමක් පවතින බවට බුද්ධි අංශ අනතුරු අඟවා තිබෙනවා.

පෙරහැර නැරඹීම සඳහා විශාල ජනකායක් එක්වීමට නියමිත බැවින්, කිසියම් ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවුවහොත් එය බරපතළ ප්‍රතිවිපාක ඇති කළ හැකි බවට ද අවධානය යොමු කර ඇති බව සඳහන්.

මහජන සාමය ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති අතර, අවශ්‍ය වුවහොත් ඒ සඳහා අධිකරණ නියෝග ලබා ගැනීමට ද පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *