හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අද (03) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, යෝෂිත රාජපක්ෂ මහතා නියමිත සුදුසුකම් වෙනස් කරමින් නාවික හමුදාවේ විධායක නිලධාරියෙකු ලෙස බඳවා ගැනීම සහ රජයේ මුදල් අවභාවිත කරමින් බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ පුහුණුව සඳහා යොමු කිරීම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීමට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි අවස්ථාවේදීයි.
මෙම විමර්ශනයට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා වසන්ත කරන්නාගොඩ මහතා මීට පෙර අවස්ථා දෙකකදී අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස කැඳවා තිබුණා.
පළමු කැඳවීම පසුගිය ජූනි 16 වැනිදා සිදුකර තිබූ අතර, එම කැඳවීමේ ලිපිය තමන්ට නොලැබුණු බව සඳහන් කරමින් ඔහු එදින පෙනී සිටියේ නැහැ.
ඉන් අනතුරුව ජූනි 22 වැනිදා දෙවැනි වරටත් කැඳවා තිබුණද, රෝගී තත්ත්වයක් හේතුවෙන් එදින ද පැමිණිය නොහැකි බව ඔහු අල්ලස් කොමිසමට දැනුම් දී තිබුණා.
ඒ අනුව තෙවැනි වරට අද (03) කොමිසම හමුවේ පෙනී සිටි වසන්ත කරන්නාගොඩ මහතාගෙන් දීර්ඝ ලෙස ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.






Leave a Reply