Loading...

හිටපු ඇමති ජයකොඩිගෙන් ගල්අඟුරු කොමිසම පැය දෙකක් ප්‍රශ්න කරයි

ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ හිටපු බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ඊයේ (30) පෙනී සිට තිබෙනවා.

කොමිසම විසින් කළ දැනුම්දීමකට අනුව ඔහු එහි පෙනී සිට ඇති අතර, ගල්අඟුරු ගනුදෙනු සහ ඒවාට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳව පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව වාර්තා වනවා.

ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන ස්වාධීනව සහ කිසිදු බලපෑමකින් තොරව ඉදිරියට ගෙන යාමට අවස්ථාව සලසා දීම සඳහා කුමාර ජයකොඩි මහතා පසුගිය අප්‍රේල් 17 වැනිදා බලශක්ති අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වුණා.

ඔහු 2024 නොවැම්බර් 18 වැනිදා එම අමාත්‍ය ධුරයට පත් කෙරුණු අතර, මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරනවා.

මේ අතර, ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් තවත් හිටපු අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගෙන් ද ඉදිරියේදී ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බව වාර්තා වනවා.

එමෙන්ම බලශක්ති අමාත්‍යාංශයේ වත්මන් ලේකම්වරයා, හිටපු ලේකම්වරුන්, මහාචාර්ය උදයංග හේමපාල මහතා ඇතුළු අමාත්‍යාංශයේ ප්‍රධානීන් රැසකගෙන් ද මේ වන විට ප්‍රකාශ ලබාගෙන ඇති බව ජනාධිපති කොමිෂන් සභාවේ ලේකම් ඩී.වී. බන්දුලසේන මහතා සඳහන් කළා.

ඔහු පැවසුවේ, මේ වන විට පුද්ගලයින් 60කට වැඩි පිරිසකගෙන් ප්‍රකාශ සියයකට ආසන්න සංඛ්‍යාවක් සටහන් කරගෙන ඇති අතර, ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් කොමිසමට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 28ක් වන බවයි.

අදාළ පැමිණිලිවලට අදාළ සාක්ෂි විමසීම ලබන 3 වැනිදා ආරම්භ කිරීමට නියමිත අතර, පැමිණිලිකරුවන්ට සවිස්තර වාර්තා ඉදිරිපත් කිරීම සඳහා ලබාදී තිබූ කාලසීමාව ඊයේ (30) අවසන් වී තිබෙනවා.

2009 වසරේ සිට මේ දක්වා ගල්අඟුරු ආනයනයේදී සිදුවූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම ජනාධිපති කොමිෂන් සභාව පත් කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කොමිසමේ සෙසු සාමාජිකයන් ලෙස අභියාචනාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා සහ මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්න මහතා කටයුතු කරනවා.

මීට අමතරව, කොමිෂන් සභාවේ නිලධාරීන් පසුගිය 14 වැනිදා නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු විදුලි බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත වී තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *