Loading...

පින්බර පොසොන් පුර පසළොස්වක පොහොය අදයි

ශ්‍රී ලාංකේය බෞද්ධ ජනතාවගේ අතිශය ගෞරවයට පාත්‍ර වන පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදට (29) යෙදී තිබෙනවා.

මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ ධර්මදූත පිරිස ජම්බුද්වීපයේ සිට ලක්දිවට වැඩම කර බුදු දහම මෙරට ස්ථාපිත කිරීම සිදුවූයේ පොසොන් පුර පසළොස්වක පොහොය දිනකදීය.

අනුරාධපුර මිහින්තලා පර්වතයේදී එවකට ලක්දිව පාලනය කළ දෙවන පෑතිස් රජු ඇතුළු පිරිස හමුවූ මිහිඳු මහ රහතන් වහන්සේ ඔවුන් පංචසීලයේ පිහිටුවා චුල්ලහත්ථිපදෝපම සූත්‍රය දේශනා කිරීමත් අදවන් පොහොය දිනකදී සිදුවූ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙනවා.

එමෙන්ම, බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් පසු සිව්වන සතියේ රුවන්ගෙයි වැඩහිඳ ප්‍රථම වරට සවණක් බුදුරැස් විහිදුවනු ලැබුවේ ද පොසොන් පුර පසළොස්වක පොහොය දිනකදී බව බෞද්ධ සාහිත්‍යයේ දැක්වෙනවා.

ඊට අමතරව, බුදු සසුනේ ශාසනික පවිත්‍රත්වය තහවුරු කළ තෙවැනි ධර්ම සංගායනාව පැවැත්වීම ද පොසොන් පුර පසළොස්වක පොහොය දිනයට යෙදී තිබීම මෙම දිනයේ ඓතිහාසික හා ආගමික වැදගත්කම තවත් ඉහළ නංවන කරුණක් ලෙස සැලකෙනවා.

මේ හේතුවෙන් පොසොන් පොහොය ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනතාවගේ ආගමික ජීවිතයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස අදත් මහත් භක්තියෙන් හා ගෞරවයෙන් සමරනු ලබනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *