හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ස්විස්ටර්ලන්තයෙන් දේශපාලන රැකවරණ ලබා සිටින අසාද් මවුලානා නමැත්තා එකට සිටින ආකාරය දැක්වෙන ඡායාරූපයක් නීතිපති දෙපාර්තමේන්තුව විසින් අද (24) අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
මෙම කරුණු අනාවරණය වුනේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපතිවරයා ගොනු කළ රීට් පෙත්සම අද (24) අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.
අදාළ ඡායාරූපය පිළිබඳව කරුණු දක්වමින් හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කියා සිටියේ අදාළ ඡායාරූපය ගත් ආකාරය හෝ ඒ පිළිබඳව කිසිඳු මතකයක් තම සේවාදායකයාට නොමැති බවයි.
දේශපාලන ක්ෂේත්‍රයේ සිටින පුද්ගලයින් දිනපතා විවිධ තරාතිරමේ පුද්ගලයින් නිරන්තරයෙන් පැමිණෙන බවත් එවැනි සාමාන්‍ය ඡායාරූපයක් පිළිබඳව මතකයක් නොතිබීම පුදුමයට කරුණක් නොවන බවද හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කර තිබෙනවා.
කෙසේ වෙතත් 2017 වසරේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසේ පැවැති සාකච්ඡාවකදී අසාද් මවුලානා මුණගැසුණු බව වන ප්‍රකාශය ජනාධිපති නීතිඥවරයා මෙහිදී ප්‍රතික්ෂේප කර නොමැති බව වාර්තා වනවා.
නමුත් එම හමුවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළ බව පැවසෙන කරුණු සාමාන්‍යයෙන් දේශපාලනඥයෙක් විසින් සිදුකරන ලබන ආකාරයේ සාමාන්‍ය කතාබහක් පමණක් බවද ඔහු සඳහන් කළා.
අසාද් මවුලානා සමඟ පැවති හමුව හෝ ඊට අදාළ ඡායාරූපය ප්‍රතික්ෂේප නොකළද, ඔහු Channel 4 නාලිකාවට ලබාදී ඇති ප්‍රකාශ සහ දිවුරුම් පෙත්සමේ සඳහන් කරුණු පිළිගත නොහැකි බව ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.
අසාද් මවුලානා මෙරට අධිකරණය, නීතිඥවරුන් සහ ප්‍රකට දේශපාලන ඝාතන රැසක් සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශ ද අධිකරණය හමුවේ ඉදිරිපත් කළ ජනාධිපති නීතිඥවරයා, එවැනි පුද්ගලයෙකුගේ ප්‍රකාශ මත පදනම්ව ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව උත්සාහ කිරීම ලැජ්ජාසහගත බවද පැවසුවා.
ඔහු පෙන්වා දුන්නේ විශ්‍රාමික සහ වත්මන් විනිසුරුවරුන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කමිටු කිහිපයක වාර්තාවලින් ද ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව කිසිදු කරුණක් අනාවරණය වී නොමැති බවයි.
එහිදී අසාද් මවුලානාගේ ප්‍රකාශ සම්බන්ධයෙන් යළි සලකා බලන ලෙස නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා, ඔහුගේ ප්‍රකාශ පමණක් පදනම් කරගෙන අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාමාර්ග ගැනීම සාධාරණ නොවන බවද අවධාරණය කළා.
අනතුරුව නීතිපති දෙපාර්තමේන්තුවට ප්‍රතිචාර දැක්වීම සඳහා වැඩි කාලයක් අවශ්‍ය බව දැනුම් දීමෙන් පසු, පෙත්සම සම්බන්ධ වැඩිදුර විභාගය ජූලි 06 සහ ජූලි 09 දින දක්වා කල් තැබීමට අධිකරණය නියෝග කළා.







Leave a Reply