අමෙරිකාව සහ ඉරානය අතර නව සාකච්ඡා වටයක් ස්විස්ටර්ලන්තයේ දී අද (21) ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
ඒ සඳහා අමෙරිකානු පාර්ශවයේ සහභාගී වන උප ජනාධිති ජේ. ඩී. වෑන්ස් ස්විස්ටර්ලන්තය බලා පිටත් විය.
සිය Truth Social සමාජ මාධ්‍ය ජාලයේ ඩොනල්ඩ් ට්‍රම්ප් සටහනක් තබමින් සඳහන් කළේ දෙපාර්ශවය ගිවිසුමකට එළැඹීමට අපොහොසත් වුවහොත් හෝමුස් සමුද්‍ර සන්ධිය ඔස්සේ ගමන් ගන්නා යාත්‍රාවලට අමෙරිකාව ගාස්තු පනවන බවයි.
මැදපෙරදිග සාමය පිළිබඳව අවිනිශ්චිත බවක් නිර්මාණය කරමින් ඉරානය හෝමුස් සන්ධිය නැවත වසා දැමීමට ඊයේ (20) පස්වරුවේ කටයුතු කළා.
සාම ගිවිසුමේ කොන්දේසි උල්ලංඝනය කරමින් ඊශ්‍රායලය දිගින් දිගටම ලෙබනනය වෙත ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් ඉරානය හෝමුස් සන්ධිය වසා දැමුවා.
කරුණු 14කින් සමන්විත අමෙරිකාව සහ ඉරානය ලබන සාම අවබෝධතා ගිවිසුමේ පළමු කොන්දේසියක් වුයේ අමෙරිකාව ඉරානය සහ යුද්ධයේ අනෙක් පාර්ශව වහාම එකිනෙකා වෙත මෙන්ම ලෙබනනය වෙතත් ප්‍රහාර එල්ල කර ගැනීම අත්හිටුවීම යන්නයි.
මේ අනුව අමෙරිකාව සහ ඉරානය එකිනෙකට සිදුකර ප්‍රහාර වහා නැවත්වීමට ක්‍රියා කළද ඊශ්‍රායලය මෙම තීරණය පිළිගැනීමට වැඩි කැමැත්තක් දැක්වුයේ නැහැ.
කෙසේවෙතත්, කටාර් රාජ්‍යයේ මැදිහත්වීමෙන් ඊශ්‍රායලය සහ ලෙබනනය අතර සටන් විරාමයකට එකඟතාවක් ඇති වූ ද, පසුවත් ප්‍රහාර අඛණ්ඩව සිදුවූ බව වාර්තා වුණා.
එම තත්ත්වය හේතුවෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුකරන සියලුම මුහුදු ගමනාගමන කටයුතු සඳහා යළි සීමා පැනවීමට තීරණය කළ බව ඉරාන මධ්‍යම යුද අණදෙන මූලස්ථානය නිවේදනය කළා.
තවද, හෝමූස් සමුද්‍ර සන්ධිය ආසන්නයෙන් ගමන් කරන නෞකාවලට එම මාර්ගය භාවිත නොකරන ලෙස ඉරාන විප්ලවීය ආරක්ෂක හමුදාව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. එම උපදෙස් නොතකා ගමන් කරන යාත්‍රා ජල බෝම්බ ප්‍රහාරවලට හෝ නාවික මෙහෙයුම්වල ඉලක්ක බවට පත්විය හැකි බවද එහිදී සඳහන් කර ඇත.
කෙසේ නමුත්, හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නාවික ගමනාගමනය සාමාන්‍ය පරිදි සිදුවන බව පවසමින් ඉරාන ප්‍රකාශය අමෙරිකානු මධ්‍යම විධානය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
අන්තර්ජාතික වෙළෙඳ වාර්තා අනුව, ඊයේ දිනය තුළ පමණක් වාණිජ නෞකා 55ක් හෝමූස් සමුද්‍ර සන්ධිය ඔස්සේ ගමන් කර ඇති අතර, ඒවා මගින් බොරතෙල් බැරල් මිලියන 17කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව සඳහන්.
මේ අතර, ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ඉස්මයිල් බගේයි අවධාරණය කර ඇත්තේ, සාම ගිවිසුම යටතේ අමෙරිකානු පාර්ශ්වය තම වගකීම් ඉටු නොකළහොත් ඉරානය අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවයි.
ගිවිසුමේ අඩංගු කොන්දේසි ප්‍රායෝගිකව ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂාවෙන් එයට අත්සන් තැබූ බවද ඔහු එහිදී පෙන්වා දී තිබෙනවා.
නව සාකච්ඡා වටයට සහභාගී වීම සඳහා ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් ගලිබාෆ් සහ විදේශ කටයුතු අමාත්‍ය අබ්බාස් අරාග්චි මේ වනවිට ස්විට්සර්ලන්තය වෙත පැමිණ සිටින බවද විදෙස් වාර්තා සඳහන් කරනවා.







Leave a Reply