මේ වන විට රැඳවුම් භාරයේ සිටින හිටපු බුද්ධි අධ්යක්ෂ සුරේෂ් සලේ මහතා විවිධ වධ හිංසනයන්ට ලක්කර ඇති බවට ලැබුණු පැමිණිල්ල සම්බන්ධව තවදුරටත් විමර්ශන සිදුකරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා.
එම කොමිෂන් සභාවේ කොමසාරිස් නිමල් පුංචිහේවා මහතා කියා සිටියේ ඒ සම්බන්ධව අද (16) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබාගැනීම සිදුවන බවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටින සුරේෂ් සලේ මහතාට විවිධ වධ හිංසනයන්ට ලක්කර ඇති බවට ඔහුගේ ඥාතීන් විසින් මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පසුගියදා පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
අදාළ පැමිණිල්ලට අනුව සුරේෂ් සලේ මහතා රඳවා සිටි සිරමැදිරිය සම්බන්ධව විශේෂ පරීක්ෂාවක් සිදුකර ඇති බව වාර්තා වනවා.
එම කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය සිරමැදිරියක රඳවා තබා සිට ඇති බවත් එම සිරමැදිරිය තුළට නිසි පරිදි වාතාශ්‍රය නොලැබීම ඇතුළු පොදු මුලික අඩුපාඩු රැසක් නිරීක්ෂණ වී ඇති බවත්ය.
මේ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත දැනුවත් කිරීමට ද මානව හිමිකම් කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.
ඒ මහතා රඳවා තිබූ සිරමැදිරිය ආසන්නයේ සිටි තවත් රැඳවුවන්ගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව සඳහන්.
ඊට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් ද එම කොමිසම ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කරන්නේ තවදුරටත් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමට නියමිත අතර මේ වනවිට රෝහල්ගත කර සිටින සුරේෂ් සලේ මහතාට ලැබෙන වෛද්‍ය පහසුකම් පිළිබඳවද අවධානය යොමුකර ඇති බවයි.







Leave a Reply