යාපනයේ දී ලලිත් සහ කූගන් යන දෙදෙනා අතුරුදහන් සම්බන්ධව පවතින නඩු විභාගයේ දී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට අන්තර්ජාලය ඔස්සේ සාක්ෂි ලබාදීමට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් අවසර ලබාදී තිබෙනවා.
2011 දෙසැම්බර් මස 10 වනදාට යෙදී තිබූ ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් යාපනයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබූ අතුරුදහන්වුවන්ගේ ඥාතීන්ගේ උද්ඝෝෂණය සංවිධානය කිරීමට මුල් වූ ලලිත්කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් යන පුද්ගලයින් ඊට පෙර දින ආවරංගල් ප්‍රදේශයේදී අතුරුදන් වුණා.
මේ අනුව අතුරුදහන්වූවන්ගේ ඥාතීන් විසින් 2012 වසරේ දී කොළඹ අභියාචනාධිකරණය හමුවේ හබයාස් කෝපුස් නඩුවක් ගොනු කරනු ලැබුවා.
අදාළ පෙත්සම් විභාගයේ දී මෙම පැහැර ගැනීමේ සිද්ධිය පිළිබඳව සාක්ෂිකරුවන්ගෙන් ප්‍රශ්න කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ අභියාචනාධිකරණය විසින් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට නියෝග කර තිබෙනවා.
ඒ අනුව 2012 වසරේ සැප්තැම්බර් මස 19 වනදා සිට යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ දී නඩු විභාගය ආරම්භ වුණා.
නඩු විභාගය අතරවාරයේ දී 2017 වසරේ දී සාක්ෂිකරුවන් ලැයිස්තුවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ඇතුළත් වුණා.
ඉන්පසුව පැවැති නඩු විභාගවලදී අධිකරණය හමුවේ පෙනී සිට සාක්ෂි ලබාදෙන ලෙස හිටපු ආරක්ෂක ලේකම්වරයාට අධිකරණය විසින් නියෝග කළා.
කෙසේ වෙතත් ඔහු දිගින් දිගටම පවසා සිටියේ ආරක්ෂක හේතූන් මත තමන්ට යාපනයට පැමිණිය නොහැකි බවයි.
මෙම තත්ත්වය තුළ අන්තර්ජාලය ඔස්සේ පෙනී සිට සාක්ෂි ලබාදීමට අවසර ලබාදෙන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඊට අදාළව ආරක්ෂක තර්ජන තහවුරු කරන දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරන ලෙස අධිකරණය විසින් ඔහුට නියෝග කර තිබුණා.
මේ අනුව අද (02) එම නඩු විභාගයට ගත් අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට අන්තර්ජාලය ඔස්සේ අධිකරණය හමුවේ පෙනී සිට සිය සාක්ෂි සටහන් කර ගැනීමට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් අවසර ලබාදී ඇත.








Leave a Reply