Loading...

“Gov Pay” නාමයෙන් සිදුවන නව මූල්‍ය වංචාවක් ගැන ජනතාවට හදිසි අනතුරු ඇඟවීමක්

“Gov Pay” නාමය භාවිත කරමින් රථවාහන දඩ මුදල් අය කරන බව පවසමින් ජනතාව ඉලක්ක කරගත් නවතම මූල්‍ය වංචාවක් පිළිබඳව ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

අමාත්‍යංශය සඳහන් කළේ, CCTV දර්ශන මත රථවාහන වැරදි හඳුනාගෙන දඩ මුදල් ගෙවිය යුතු බව දන්වමින් වංචාකරුවන් විසින් SMS සහ WhatsApp පණිවිඩ හරහා ජනතාවට ව්‍යාජ දැනුම්දීම් යොමු කරන බවයි.

විදේශීය දුරකථන අංක භාවිත කරමින් එවන මෙම පණිවිඩවල, අදාළ රියදුරා විසින් රථවාහන වරදක් සිදුකර ඇති බවත්, ඒ සඳහා දඩ මුදලක් ගෙවිය යුතු බවත් සඳහන් කරමින් ව්‍යාජ සබැඳියක් (Link) ලබා දෙන බවයි වාර්තා වී ඇත්තේ.

එම සබැඳිය හරහා පිවිසෙන වෙබ් අඩවිය රජයේ නිල “Gov Pay” සේවාවට සමාන ආකාරයෙන් නිර්මාණය කර ඇති අතර, වාහන අංකය ඇතුළත් කිරීමෙන් පසු ව්‍යාජ රථවාහන වැරදි වාර්තාවක් පෙන්වන බවද අමාත්‍යංශය පවසනවා.

අනතුරුව දඩ මුදල ගෙවීමේ මුවාවෙන් බැංකු කාඩ්පත් තොරතුරු ලබාගෙන ගිණුම්වල මුදල් සොරකම් කිරීම මෙම ජාවාරමේ අරමුණ බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ඒ අනුව, SMS හෝ WhatsApp මගින් ලැබෙන සැකසහිත සබැඳි මත ක්ලික් කිරීමෙන් සහ පෞද්ගලික හෝ බැංකු තොරතුරු ඇතුළත් කිරීමෙන් වළකින ලෙස ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

රජයේ ගෙවීම් සඳහා .gov.lk අග්‍රය සහිත නිල වෙබ් අඩවි පමණක් භාවිත කරන ලෙසත්, විදේශීය දුරකථන අංකවලින් ලැබෙන රථවාහන දඩ පණිවිඩ සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙසත් අමාත්‍යංශය අවධාරණය කර තිබෙනවා.

එමෙන්ම, PIN අංක, OTP මුරපද සහ CVV අංක ඇතුළු රහස්‍ය බැංකු තොරතුරු කිසිදු පුද්ගලයෙකුට හෝ වෙබ් අඩවියකට ලබා නොදෙන ලෙසත්, රජයේ ආයතන කිසිවිටෙකත් එවැනි තොරතුරු දුරකථන ඇමතුම් හෝ පණිවිඩ මගින් ඉල්ලා නොසිටින බවත් ජනතාවට සිහිපත් කර තිබෙනවා.

ඩිජිටල් අවකාශයේ ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා නිරන්තරයෙන් දැනුවත් වී විමසිලිමත්ව කටයුතු කරන ලෙස ද අමාත්‍යංශය වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *