Loading...

පින්බර වෙසක් පුන් පොහෝ දිනය අදයි

සම්බුදු තෙමගුල සිහිකෙරෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට (30) යෙදී තිබෙනවා.

ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම සහ පිරිනිවන්පෑම අද වැනි පොහෝ දිනක සිදු වුණා.

ශාසනික වැදගත්කම් රාශියකින් යුත් වෙසක් පුර පසළොස්වක පොහොය දිනය මෙරට ජනතාව මෙන්ම සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාව ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට ප්‍රමුඛත්වය ලබාදෙමින් මහත් බැතියෙන් යුතුව සමරනු ලබනවා.

වෙසක් පුන් පොහෝ දිනය බෞද්ධ ලෝකයට අතිශය පූජනීය වූ දිනයකි.

බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ විශේෂතම සිදුවීම් කිහිපයක්ම මෙම දිනය සමඟ බැඳී පවතිනවා.

ප්‍රඥාව හා කරුණාව මත පදනම් වූ උතුම් ධර්මය ලොවට දායාද කළ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ, සංසාරයේ අවසන් භවයේදී සිද්ධාර්ථ කුමාරයා ලෙස ලුම්බිණි සල් උයනේ උපත ලැබූවා.

ශාසන ඉතිහාසයට අනුව, අනාගතයේ සම්මා සම්බුද්ධත්වයට පත්වන බවට බෝසතාණන් වහන්සේ පළමු නියත විවරණය ලැබුවේ ද වෙසක් පුන් පොහෝ දිනයකදීයි.

ඉන් අනතුරුව, සත්‍ය සෙවීමේ මඟෙහි වසර හයක් පුරා දුෂ්කරක්‍රියා කළ උන්වහන්සේ, බුද්ධගයාවේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස දැඩි අධිෂ්ඨානයෙන් වැඩ සිටිමින් මාර පරාජය කර චතුරාර්ය සත්‍ය අවබෝධ කොට සම්මා සම්බුද්ධත්වයට පත්වූණා.

එතැන් සිට ලෝකවාසීන්ට දුකෙන් මිදීමේ මඟ පෙන්වා දුන් බුදුරජාණන් වහන්සේ, වසර 45ක් පුරා ධර්ම දේශනා කරමින් අසංඛ්‍ය ජීවීන් සසර දුකෙන් මුදවා ගනු ලැබුවා.

අවසානයේ, කුසිනාරා නුවර උපවත්තන සල් උයනේදී පිරිනිවන් පෑ උන්වහන්සේගේ පරිනිර්වාණය ද සිදුවූයේ අද වැනි වෙසක් පුන් පොහෝ දිනයකදීයි.

ඒ අනුව, බුදුරජාණන් වහන්සේගේ උපත, බුද්ධත්වය සහ පරිනිර්වාණය යන තෙමඟුල සිහිපත් කෙරෙන වෙසක් පුන් පොහෝ දිනය, ලොව පුරා බෞද්ධ ජනතාවගේ අතිශය ගෞරවයට පාත්‍ර වූ පින්බර දිනයක් ලෙස සැලකෙයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *