Loading...

මහමොළකරු සුරේෂ් සලේ – අතිරේක සොලිසිටර් ජනරාල් දිලිප පිරිස් අධිකරණයේ දී කියයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය මැතිවරණයක් ඉලක්ක කරගෙන සුරේෂ් සලේගේ මෙහෙයවීමෙන් සිදුකර ඇති බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලිප පිරිස් මහතා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (20) ප්‍රකාශ කළා.

ඒ මහතා විවෘත අධිකරණය ඉදිරියේ පවසා ඇත්තේ ප්‍රහාරයේ මහ මොළකරු ඔහු යන්න පැහැදිළි වන බවයි.

සිය සේවාදායකයා මහේස්ත්‍රාත්වරයා හමුවේ ප්‍රකාශයක් ලබාදීමට සුදානම් බවත් ඒ සඳහා ඉඩ ලබාදෙන ලෙසත් මෙහිදී සලේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ දැනුම් දුන්නා.

එහිදී අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා පැවසුවේ මෙලෙස ප්‍රකාශයක් ලබාදීම විමර්ශන අඩාල කිරීමේ උත්සාහයක් බවයි.

පාස්කු ඉදිරි ප්‍රහාරයේ විමර්ශන නොමඟ යැවීමක් පිළිබඳව වන චෝදනාවට අදාළ මෙම නඩුව කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ අද (20) නැවත කැඳවනු ලැබුවා.

ඒ සඳහා දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලේ මහතා දැඩි ආරක්ෂක විධිවිධාන මැද අධිකරණය වෙත රැගෙන එනු ලැබුවා.

මෙහිදී විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කළ අතිරේක සොලිසිටර් ජනරාල් දිලිප පිරිස් මහතා,

“ස්වාමීනි…. අද දින පිටු 14 ක දීර්ඝ වාර්තාවක් ඉදිරිපත් කරනවා. මේ වාර්තාවේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් වෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාලිකාවට ප්‍රකාශයක් සිදුකළ අසාත් මවුලානා නමැත්තාගෙන් ප්‍රංශයේදී ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ශානි අබේසේකර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ප්‍රංශයට ගිහින් එහි ශ්‍රී ලංකා තානාපතිවරයාගේ නිල නිවසේදී තමයි මේ ප්‍රකාශය සටහන් කර ගත්තේ. ඔහු එම ප්‍රකාශය තුළින් පාස්කු ප්‍රහාරය ගැන දීර්ඝ විස්තරයක් කර තිබෙනවා. ඔහුගේ ප්‍රකාශයට අනුව තුවාන් සුරේෂ් සලේ මේ ප්‍රහාරයේ මහමොලකරු වශයෙන් කටයුතු කර තිබෙන බව පැහැදිලි වෙනවා. දේශපාලන අවශ්‍යතාවයක් ඉටුකිරීම සඳහායි එය කර තිබෙන්නේ.”

” ස්වාමීනි… අලියාර් හංදියේ ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් සහරාන් හෂීම්ගේ කල්ලියේ සාමාජිකයෙක් වන සෙයිනි මවුලවී බන්ධනාගාරගත වෙනවා. මේ සෙයිනි මවුලවී කියන පුද්ගලයා සහ පිල්ලයාන් සිටින්නේ එකම සිරකුටියේ. සෙයිනි මවුලවී පිල්ලයාන්ට ප්‍රකාශ කරනවා අපේ කණ්ඩායමේ ඉන්නවා මැරෙන්න සූදානම් පිරිසක් කියලා. මේ තොරතුර සැකකාර සුරේෂ් සලේට ආරංචි වෙනවා. ඔහු මේ මැරෙන්න කැමති කට්ටියගෙන් වැඩක් ගන්න කටයුතු කරනවා. ඒ අනුව තමයි සෙයිනි, සලේ සහ පිල්ලයාන් සම්බන්ධ වන්නේ. පාස්කු ප්‍රහාරයෙන් මියගිය සහරාන් හෂීම් ඇතුළු ස්වංඝාතක ප්‍රහාරයකින් හයදෙනෙකු පුත්තලමේදී සුරේෂ් සලේ හමුවී සාකච්ඡා කරලා තිබෙනවා. පාස්කු ප්‍රහාරය සිදුවූ අවස්ථාවේදී සැකකාර සුරේෂ් සලේ අසාද් මවුලානාට ඇමතුමක් ලබා දෙනවා. ඇමතුමක් දීලා කියනවා ටාජ් සමුද්‍රා ඒක ළඟට ගිහිල්ලා එහි සිටින පුද්ගලයෙක්ව ගන්නා ලෙසට. ඔහුගේ දුරකථනය භාරයට ගන්න කියලත් කියනවා. ඒ පුද්ගලයා තමයි දෙහිවලදී බෝම්බයක් පුරවා ගත් ජමිල් නමැත්තා. මේ ජමීල් නමැති බෝම්බකරු අහිංසක පුද්ගලයෙකු බවට වරුණ ජයසුන්දර විසින් සඳහන් කර තිබෙනවා. ඒ නිසා අපි වරුණ ජයසුන්දර නමැති නිලධාරියා සම්බන්ධයෙනුත් විමර්ශනය කරනවා”.

“මේ ප්‍රහාරයෙන් පසුව මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යන අය මඩකලපුව බන්ධනාගාරයට ගිහින් පිල්ලයාන් හමුවෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වී සතියකින් එළියට ගන්නා බවට ඔවුන් පිල්ලයාන්ට දැනුම් දෙනවා. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙනවා. ඉන් පසුව යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානියා වශයෙන් කටයුතු කර තිබූ සුරේෂ් සලේව සමස්ථ රාජ්‍ය බුද්ධි සේවයේම ප්‍රධානියා වශයෙන් පත්කරනවා. එසේ කරන්නේ බුද්ධි තොරතුරු වෙනත් අංශ වෙත ගමන් කිරීම වැළැක්වීමටයි. සෙයිනි මවුලවී රක්ෂිත බන්ධනාගාර ගත වුණාම ඔහුට ඇප ගන්න රුපියල් දෙලක්ෂ පනස්දාසක මුදලක් වැය කරනවා. ඒ මුදල ගෙවලා තිබෙන්නේ යුද හමුදා බුද්ධි අංශයෙන්. ස්වයං ඝාතකයින් ආරක්ෂා කරගන්න අපේ මහජන මුදල් වැය කර තිබෙනවා. එසේ කරලා තිබෙන්නේ මාස හයකින් එළඹෙන ඡන්දය තෙක් මෙම අන්තවාදී ක්‍රියා සම්බන්ධ තොරතුරු හෙළිදරව් වීම වැළැක්වීමටයි. පිල්ලයාන්ගේ කල්ලිය සහ යුද හමුදා බුද්ධි අංශය එකට කටයුතු කර තිබෙනවා. එසේ කටයුතු කර තිබෙන්නේ රටේ රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් නෙමෙයි. දේශපාලන විරුද්ධවාදීන්ගෙන් පළිගැනීමට හා ඝාතන සිදු කරන්නයි එසේ කටයුතු කරලා තිබෙන්නේ. අසාද් මවුලානාගේ ප්‍රකාශයෙන් හෙළිදරව් වෙලා තිබෙනවා පිල්ලයන්ගේ කල්ලිය සහ යුද හමුදා බුද්ධි අංශය එක්ව සිදුකළ අපරාධ ගැන. මාධ්‍යවේදීන් වන ප්‍රගිත් එක්නැලිගොඩ පැහැරගෙන යාම කීත් නොයාර්ට පහර දීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, උපාලි තෙන්නකෝන්ට පහර දීම වැනි කටයුතු වලට මෙම කල්ලි සම්බන්ධ වී තිබෙනවා. පිල්ලයාන්ගේ කල්ලියේ දෙදහකට අධික පිරිසකට යුද හමුදා බුද්ධි අංශයෙන් වැටුප් ගෙවා තිබෙනවා. ඒ රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් නෙවෙයි. දේශපාලන කොන්ත්‍රාත් කරන්නයි මේ වගේ දේවල් කරලා තියෙන්නේ. මෙවැනි ක්‍රියා වැළැක්වීමට කටයුතු කරන්න කියලා මම යුද හමුදාපතිවරයාට ලිඛිතව දැනුම් දීලා තිබෙනවා. මෙවැනි ක්‍රියා දිගටම සිදුවුණොත් යුද හමුදාපතිවරයාවත් සැකකරුවෙක් හැටියට අධිකරණයට ගේන්න වෙනවා තොරතුරු වසන් කිරීම සම්බන්ධව. පාස්කු ප්‍රහාරයෙන් පසුව අසාත් මවුලානාගේ පවුලේ අයව අහුන්ගල්ලේ හෝටලයකට ගෙන්වාගෙන තිබෙනවා. සුරේෂ් සලේ විසින් තමයි එය කර තිබෙන්නේ. තානාපති කාර්යාලයේ රැකියාවක් ලබා දෙන බවටත් ඔහුට සඳහන් කර තිබෙනවා. මේ හෝටලේ ලොග් පොත් වල සටහන් සියල්ල අපි ලබාගෙන තිබෙනවා. ”

” ස්වාමීනි… රැඳවුම් භාරයේ පසුවන සැකකාර සුරේෂ් සලේ අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මම තරයේ විරුද්ධ වෙනවා. ඔහුගේ ජීවිතයට තර්ජන එල්ල වෙලා තිබෙනවා. මේක ඔහුට වේදිකාවක් කරගන්න ඉඩ දෙන්න බෑ. මේ දවස් වල පුද්ගලයින් අබිරහස් ආකාරයට මිය යනවා. ඒ නිසා මේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පූර්වගාමී මහෙස්ත්‍රාත්වරයා විසින් කළ නියෝගය ඉවත් කරන ලෙස මා ඉල්ලා සිටිනවා. සැකකාර සුරේෂ් සලේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ එකසිය විසිහත් වන වගන්තිය යටතේ මහෙස්ත්‍රාත්වරයාට ප්‍රකාශයක් කිරීමට අවසර ඉල්ලා තිබෙනවා. මේක මේ විමර්ශනය අඩාල කරන්න කරනු ලබන උත්සාහයක්. සංවිධානාත්මක කල්ලියකට අවශ්‍ය වෙලා තිබෙනවා මේ විමර්ශනය අඩාළ කරන්න. මේ විමර්ශනය නවත්වන්නයි බලාගෙන ඉන්නේ. “.

“කිසිදු සැකයක් නෑ. සුරේෂ් සලේ තමයි පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන ග්‍රහයා. ඔහු වටේ තමයි අනෙකුත් ග්‍රහයින් කැරකිලා තියෙන්නේ. සුරේෂ් සලේ මේ ක්‍රියාව කළේ කා වෙනුවෙන්ද? ඒ ගැනත් අපි පරීක්ෂණය කරනවා. පරීක්ෂණ කරලා ඊට වගකිව යුතු ප්‍රධාන පුද්ගලයින් නීතිය ඉදිරියට ගේන්න අපි කටයුතු කරනවා. පාස්කු ප්‍රහාරයට පෙර මේ ප්‍රහාරය එක්කෝ උතුරු පළාතේ හමුදා කණ්ඩායමක් කේන්ද්‍ර කරගෙන කරන්න සූදානම් කරලා තිබුණා. ඒ වගේම දකුණේ සමූල ඝාතනයක් සිදු කරන්නත් සැලසුම් කරලා තිබුණා. පසුව මොවුන් ඒ සැලසුම් දෙකම අතහැරලා තමයි පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල කිරීමට අවශ්‍ය කටයුතු කළේ. මාස හයකින් එළැඹීමට නියමිත ඡන්දයක් ඉලක්ක කරගෙන සැකකාර සුරේෂ් සලේගේ මෙහෙයවීමෙන් තමයි මෙම ක්‍රියාව සිදුවෙලා තිබෙන්නේ.”.

ඉන්පසුව සැකකාර සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු මහතා කරුණු දැක්වීම සිදුකළා.

” පැමිණිල්ල දිගින් දිගටම සඳහන් කළා ප්‍රංශයට ගොස් අසාත් මවුලානා නමැත්තාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත් බව. නමුත් මේ ප්‍රකාශයේ අන්තර්ගත කරුණු සාක්ෂි වශයෙන් පිළිගන්න බැහැ. සාක්ෂි වශයෙන් පිළිගන්න නම් ඒවා අධිකරණය හමුවේ හරස් ප්‍රශ්න අසා අභියෝගයට ලක්විය යුතුයි. ඔහු මේ ප්‍රකාශය සිදු කළේ චැනල් ෆෝ නාලිකාවට. චැනල් ෆෝ නාලිකාව ගැන බ්‍රිතාන්‍යයෙන් ඇහුවොත් දැනගන්න පුළුවන්. එය කිසිදු විශ්වාසනීයත්වයකින් තොර නාලිකාවක් හැටියටයි ප්‍රකට වෙලා තිබෙන්නේ. මේ නඩුවේ සාක්ෂිකරුවන් කීපදෙනෙකු අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වන වගන්තිය යටතේ මහෙස්ත්‍රාත්වරයාට ලබා දුන් ප්‍රකාශවල පිටපත් විත්තිය විසින් ලබා ගැනීම සම්බන්ධයෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයා චෝදනා කලා. ඉතින් මේ ප්‍රකාශවල පිටපත් සීඅයිඩි යට ගන්න පුළුවන්නම් අපට ගන්න බැරි ඇයි? ඒ වගේම අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා චෝදනා කළා මේ සැකකරුවන්ගේ නීතිඥ ප්‍රවේශය අධීක්ෂණය නොවන බවට. ඒ ප්‍රකාශය සම්බන්ධයෙන් මම කණගාටු වෙනවා. මොකද මේක නීතිඥවරුන්ගේ වරප්‍රසාද උල්ලංඝනය කිරීමක්. නීතිපතිවරයා විසින් මේ වගේ ඉල්ලීමක් ඉදිරිපත් කිරීම නීතිඥවරුන්ගේ පරම අයිතිය නැති කිරීමක් හැටියටයි සඳහන් කරන්න වෙන්නේ. මගේ සේවාදායකයාව නොමරා මරණ තත්ත්වයක් ඇතිවෙලා තිබෙනවා. මගේ සේවාදායකයා පසුගිය වතාවේ මහෙස්ත්‍රාත්වරයාට ප්‍රකාශයක් ලබා දෙන්න අවසර ඉල්ලා සිටියා. ඒ අවස්ථාවේදී පූර්වගාමී මහෙස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර තිබුණා සිතා බලා පිළිතුරක් ලබා දෙන ලෙසට. ඒ අනුව මගේ සේවාදායකයා අද මට උපදෙස් ලබා දීලා තිබෙනවා ප්‍රකාශයක් ලබාදීමට අවශ්‍ය බවට අධිකරණයට දැනුම් දෙන ලෙසට. එම ප්‍රකාශය අද දිනම වාර්තා කිරීම ආරම්භ කරන ලෙස ඉල්ලා සිටිනවා”.

ඉන්පසුව අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු අදාළ බෝම්බ ප්‍රහාරයෙන් අගතියට පත්වූවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීම සුදුසු නොවන බව සිය මතය බවට ප්‍රකාශ කර තිබෙනවා.

සියලු පාර්ශව ඉදිරිපත් කළ කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා රැඳවුම් භාරයේ පසුවන සැකකාර සලේ මහතා ඉදිරිපත් නොකරන ලෙසට පැමිණිල්ල විසින් කළ ඉල්ලීම පිළිබඳ නියෝගය ජූලි මස 1 වනදා ප්‍රකාශයට පත් කරන බව නිවේදන කර ඇති බව සඳහන්.

තවද මහේස්ත්‍රාත්වරයා පවසා ඇත්තේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වන වගන්තිය යටතේ මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ප්‍රකාශයක් ලබාදීම සඳහා අවසර ලබාදෙන ලෙස සුරේෂ් සලේ මහතා කළ ඉල්ලීම පිළිබඳව නියෝගය ද එදින ප්‍රකාශයට පත් කරන බවයි.

එතෙක් සැකකරු රැඳවුම් නියෝගය මත තබාගෙන මීළඟ දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *