ඉන්ධන පරිභෝජනය අඩු කිරීම රජයේ ඉලක්කය වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ නුවරඑළිය දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින්.
මේ අනුව ඉන්ධන මිල ඉහළ දැමීම ආදී තීන්දු තීරණවලට එළැඹුණු බවද ඔහු මෙහිදී කියා සිටියා.
“පෙබරවාරි මාසයේ දී අපට තෙල් අනායනයට වැය වී තිබුණේ, ඩොලර් මිලියන 98යි. මාර්තු මාසයේ දී අපිට වැයවෙලා තියෙනවා ඩොලර් මිලියන 216ක්. අප්‍රේල් මාසයේ දී අපට වැයවෙලා තියෙනවා ඩොලර් මිලියන 368ක්. මැයි මාසයේ දී අපි ගණනය කරා අපිට වැයවෙනවා ඩොලර් මිලියන 522ක්. පෙබරවාරිය හා සංසන්දනය කරලා බලද්දි 6 ගුණයකට වඩා වැඩි ප්‍රමාණයක් තෙල් ආනයනය සිදුවෙලා තියෙනවා. අපිට යම් අභියෝගයක් සමඟ තමා ආර්ථිකය කළමනාකරණය කරන්න වෙන්නේ.
තෙල් වියදම බැලුවොත් පෙට්‍රෝලියම් එකෙන් කියලා තිබුණා ආසන්න වශයෙන් ඩීසල් ලීටරයක මිල රු 720ක් වෙනවා කියලා. හැබැයි ඩීසල් ලීටරයක් ලබාදෙන්නේ 392කට. අපි ආණ්ඩුවෙන් රු 100ක වැයබරක් දරනවා. එතකොට තෙල් සංස්ථාවට ලැබෙන්නේ රු 492යි. එතනත් ඔවුන්ට විශාල පාඩුවක් තියෙනවා. ඒ පාඩුව පියවා ගන්න අවශ්‍යයි. තෙල් සංස්ථාවේ විශාල පාඩුවක් ආණ්ඩුව අරන් තියෙන්නේ. ඒ පසුගිය කාලයේ ආණ්ඩු නිසි කළමනාකරණයක් නොකළ නිසා. බිලියන 84ක පාඩුවක්. සංස්ථාව භාණ්ඩාගාරයට පවරා ගෙන තියෙන්නේ.
විදුලි බිලත් එහෙම තමා. තෙල් වැඩිවීම නිසා අද බලපෑමක් එල්ල වෙලා තියෙනවා. අපි ඒකටත් යම් සහනයක් දෙන්නම්. විදුලි බිල 18%කින් වැඩි වෙද්දි 95%කට වැඩිවීම බලපාන්නේ නැති ආකාරයකට. 5%කට වගේ තමා විදුලිබිල වැඩි වුණේ.
නමුත් දිගටම අපිට තෙල් සංස්ථාව, විදුලිබල මණ්ඩලයට භාණ්ඩාගාරයෙන් මුදල් ලබාදෙමින් පවත්වාගෙන යන්න බෑ. ඒවා කාර්යක්ෂම කරගන්න ඕනේ. ජනතාවට ප්රතිලාභ ලැබෙන විදියට අනිත් දේවල් කළමනාකරණය කරන්න ඕනේ.
ඉන්ධන පරිභෝජනය අඩුකිරීමේ ඉලක්කයක් තියෙනවා. මොකද වැඩි මිලකට ඉන්ධන මිල ඉහළ ගියාම පරණ පරිභෝජනය තිබුණොත් ඩොලර් ගලාගෙන යන ප්‍රමාණය වැඩිවෙනවා. ඒ නිසා යම් ප්‍රමාණයකට අපි පරිභෝජනය අඩුකිරීමේ අවශ්‍යතාවයෙන් තමා අපි යම් තීන්දු තීරණ අරන් තියෙනවා. අපි උත්සාහ කරනවා ඉන්ධන සම්බන්ධයෙන් විසඳුම් ඉක්මනින් ලබාදෙන්නම්.”







Leave a Reply