Loading...

දරු ප්‍රසූතියකදී බිලිඳෙකු මියයෑමේ සිද්ධියට වෛද්‍යවරයෙකුගේ සහ වෛද්‍යවරියකගේ වැඩතහනම්

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකු සහ එම රෝහලේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරියකගේ වැඩ තහනම් කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තීරණය කර තිබෙනවා.

අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම තීරණය ගෙන ඇත්තේ පසුගිය අප්‍රෙල් 9 වැනිදා එම රෝහලේ සිදුවූ දරු ප්‍රසූතියකදී බිලිඳෙකු මියයාමේ සිද්ධියකට අදාළව එම අමාත්‍යාංශය සිදුකළ මූලික විමර්ශනයක් මතයි.

අදාළ දරු ප්‍රසූතිය සිදුවන අවස්ථාවේ ඇති වූ ගැටළුකාරී තත්ත්වයක් හේතුවෙන් එම වෛද්‍යවරු දෙදෙනාට සූතිකාගාරයට පැමිණෙන්නැයි දැනුම්දෙමින් රෝහලේ නේවාසික වෛද්‍යවරිය දුරකථන ඇමතුම් 6ක් ලබාදී තිබුණ ද ඔවුන් එම අවස්ථාවේ පැමිණ නොමැති බවට ඔවුන්ට චෝදනා එල්ල වී තිබුණා.

තවද අදාළ වෛද්‍යවරු දෙදෙනා එම අවස්ථාවේ පෞද්ගලික රෝහලක සිසේරියන් සැත්කමකට සහභාගී වී සිට ඇති බවට චෝදනා එල්ල වී තිබූ බව සඳහන්.

මේ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිද්ධිය සම්බන්ධව මුලික විමර්ශනයක් සිදු කර තිබෙනවා.

අනාවරණය වූ කරුණු මත රාජකාරි වේලාව තුළ සිය සේවය පැහැර හැර නිසි ක්‍රමවේදයෙන් පරිබාහිරව පෞද්ගලික රෝහලක සේවයේ නිරත වීම ඇතුළු චෝදනා කිහිපයකට අදාළව එම වෛද්‍යවරු දෙදෙනාගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

සිද්ධිය සම්බන්ධව විධිමත් විනය පරීක්ෂණයක් සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් සිදු කිරීමට නියමිතයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *