Loading...

ලෝක කම්කරු දිනය – ජනපති, අගමැති සහ විපක්ෂ නායකගේ පණිඩුඩ

මෙරට වැඩ කරන ජනතාවගේ අයිතීන් සුරක්ෂිත කරමින් ඔවුන්ගේ දුක්, කදුළු, වේදනා වෙනුවට වඩා සුරක්ෂිත ආර්ථිකයක් සහ දරුවන්ට හොඳ අනාගතයක් ගොඩනඟා දීම වත්මන් රජයේ ඒකායන අරමුණු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ ලෝක කම්කරු දිනය වෙනුවෙන් විශේෂ පනිවිඩයක් නිකුත් කරමින්.

“ශ්‍රී ලංකාවේ වැඩ කරන ජනතාව මෙවර කම්කරු දිනය සමරන්නේ ගෝලීය යුදමය තත්ත්වයක් හමුවේ වුවද රටක් ලෙස ආර්ථික ජයග්‍රහණ රැසක් අත්පත් කර ගනිමින් සිටින තීරණාත්මක අවස්ථාවකය.

ඇමරිකානු තීරුබදු, දිට්වා සුළි කුණාටුව, මැදපෙරදිග යුද්ධය වැනි මෑත කාලීන විශාලතම අභියෝග හමුවේ පවා අප රටේ අනන්‍යතාව වූ මානුෂවාදී නොබැඳි විදෙස් පිළිවෙත මත පිහිටා විදෙස්ගත ශ්‍රමිකයන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කර ඇත්තෙමු.

දිට්වා වැනි ස්වභාවික ව්‍යසනවලට සාර්ථකව මුහුණදෙමින් 2025 වසරේදී 1977න් පසු වාර්තා වූ අඩුම අයවැය හිඟය වාර්තා කිරීම, 2007 වසරට පසු මෙරට වැඩිම රාජ්‍ය ආදායම වාර්තා කිරීම, ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් වාර්තා කිරීම, භාණ්ඩ සහ සේවා අපනයන ආදායම ඩොලර් බිලියන 17 ඉක්මවීම, මෙරට ඉතිහාසයේ රාජ්‍ය ආදායම් ඉලක්ක අභිබවා ගිය එකම වසර සහ වැඩිම විදේශ ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබීම ඇතුළුව මෙරට ප්‍රධාන ආර්ථික සාධක ගණනාවකින් කැපී පෙනෙන ජයග්‍රහණ රැසක් අපි සලකුණු කළෙමු.

මේසා සුවිශේෂී ජයග්‍රහණ වෙනුවෙන් උර දුන් මෙරට වැඩ කරන ජනතාවට පළමුව මම ජාතියේ කෘතවේදීත්වය පළ කරමි.

එමෙන්ම, වැඩ කරන ජනතාවගේ ශ්‍රම වටිනාකම මැනවින් තේරුම් ගත් අපි ඒ අනුව රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් සිටිමු. රාජ්‍ය සේවක මූලික වැටුප ඉහළ නැංවීම, පෞද්ගලික අංශයේ සේවකයින්ගේ මූලික වැටුප් ඉහළ නැංවීම මෙන්ම, 2016 ජනවාරි 01 වන දිනෙන් පසු බඳවාගත් රාජ්‍ය සේවකයන්ටද විශ්‍රාම වැටුප් හිමිකම ලබා දීම, වතු කම්කරු වැටුප රුපියල් 1750ක් දක්වා ඉහළ නැංවීම, කාන්තාවන් රාත්‍රී කාලයේ සේවයේ යෙදවීමේ නීති සංශෝධනය මෙන්ම මෙරට වැඩ කරන ජනතාවගේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 10,000කින් ඉහළ නැංවීම ඇතුළුව මෙරට ගොවි, ධීවර ප්‍රජාව, තරුණයින්, කාන්තාවන්, සිසුන් පමණක් නොව නිෂ්පාදකයන්, සුළු පරිමාණ ව්‍යාපාරිකයන්, වතු කම්කරු ජනතාව ඇතුළු විවිධ වෘත්තීන්හි නිරතවන්නන් ආදී සමාජයේ සියලු දෙනා වෙනුවෙන් වරප්‍රසාද රැසක් ලබා දීමට අප කටයුතු කර තිබෙන බවද මෙහිලා සිහිපත් කරන්නේ මහත් සතුටිනි. පසුගිය දිට්වා සුළි කුණාටුව හමුවේදී වැඩිම පීඩාවට පත් වූයේ මෙරට වැඩ කරන ජනතාවයි.

ඉතිහාසයේ ව්‍යසනයකදී ලබා දුන් වැඩිම වන්දි මුදල ලබා දීම, ගොවි ජනතාව, ධීවර මෙන්ම සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් වෙනුවෙන් සහනාධාර ලබා දීම සහ නිවාස ඉදිකර දීමේ වැඩපිළිවෙළ කඩිනම් කරමින් එම ජනතාවගේ ජීවන තත්ත්වය පැවතුණාට වඩා උසස් තලයකට ඔසවා තැබීමේ Rebuilding Sri Lanka වැඩපිළිවෙළ මේ වන විටත් සාර්ථකව ක්‍රියාවට නංවමින් තිබෙන බවද මෙහිලා සිහිපත් කළ යුතුය.

මෙරට වැඩ කරන ජනතාවගේ අයිතින් සුරක්ෂිත කරමින් ඔවුන්ගේ දුක්, කදුළු, වේදනා වෙනුවට වඩා සුරක්ෂිත ආර්ථිකයක් සහ දරුවන්ට හොඳ අනාගතයක් ගොඩනඟාදීම අපගේ ඒකායන අරමුණයි.

එහිදී දිනෙන් දින අලුත් වන නිෂ්පාදන බලවේග හා දියුණු වන පරිසරයට ගැළපෙන පරිදි මානව සමාජය, ආර්ථිකය සහ නිෂ්පාදන සබඳතා යාවත්කාලීන කිරීම ප්‍රමුඛ කාර්යයක් ලෙස හඳුනාගෙන සිටින්නෙමු.

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, ඩිජිටල් ආර්ථික වැඩපිළිවෙළ, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන, ප්‍රජාශක්ති වැඩසටහන ආදිය ක්‍රියාත්මක වන්නේ ඒ වෙනුවෙනි.

රටට අහිමි වු සංවර්ධනය ළඟා කර ගනිමින් “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ගොඩනැඟීමේ වැඩපිළිවෙළෙහිදී ගාමක බලවේගය ලෙස මෙරට වැඩ කරන ජනතාව පිළිබඳ අපි දැඩි විශ්වාසයක් තබා ඇත්තෙමු.

එම විශ්වාසය මත පදනම්ව අපරාජිත ගමනක් වෙනුවෙන් අපි වැඩ කරමින් ඉගෙන ගනිමින්ද, ඉගෙන ගනිමින් වැඩ කරමින්ද සිටිමු.

නියත වශයෙන්ම යහපත් රටක් ගොඩනැගීම වෙනුවෙන් වූ සාමුහික ප්‍රයත්නයට හෘදසාක්ෂියට අනුවම එක්ව කැපවෙමු’යි ආදරණීය වැඩ කරන ජනතාවට සහෝදරාත්මකව ආරාධනා කරමින් අර්ථවත් කම්කරු දින සැමරුමකට ශුභාශිංසන එක් කරමි.”

ශ්‍රමය සඳහා ලැබිය යුතු නිසි ගෞරවය ලබාදීම සහ සියලු වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වත්මන් රජයේ මූලික ප්‍රතිපත්තිමය කැපවීම බව ලෝක කම්කරු දිනයේ අරමුණ බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.

ඇය මේ බව සඳහන් කර ඇත්තේ කම්කරු දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින්.

“ශ්‍රී ලාංකේය කම්කරු ඉතිහාසය යනු දශක ගණනාවක් පුරා අයිතිවාසිකම් දිනාගැනීම වෙනුවෙන් ලේ, කඳුළ සහ දහඩිය හෙළූ අභිමානවත් අරගලයක කතාවකි.

1893 මුද්‍රණ ශිල්පීන්ගේ වැඩවර්ජනයේ සිට මෙරට වැඩකරන ජනතාව සංවිධානාත්මක බලවේගයක් ලෙස නැගී සිටි අතර, ඒ.ඊ. ගුණසිංහගේ නායකත්වයෙන් ඇරඹි වෘත්තීය සමිති ව්‍යාපාරය සහ සමසමාජ පක්ෂයේ ආරම්භයත් සමඟ කම්කරු හඬ දේශපාලනමය වශයෙන් සවිමත් විය.

1923 දුම්රිය වැඩවර්ජනය සහ 1947 රාජ්‍ය සේවා වැඩවර්ජනය වැනි තීරණාත්මක සන්ධිස්ථාන මගින් තහවුරු කළේ, මෙරට ආර්ථික හා සමාජීය පෙරළියක “නියමුවා” වැඩකරන ජනතාව බවයි.

එදා මෙදා තුර වතු ක්ෂේත්‍රයේ, වරාය, දුම්රිය ඇතුළු සමස්ත රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ශ්‍රමිකයන් දැක්වූ දායකත්වය අද අප භුක්ති විඳින බොහෝ වෘත්තීය අයිතිවාසිකම්වල පදනම බව ගෞරවයෙන් සිහිපත් කරමි.

1886 වසරේ චිකාගෝ නුවරදී පැය අටක වැඩ මුරයක් වෙනුවෙන් කළ අරගලයේදී දිවි පිදූ වීරෝදාර කම්කරු ජනතාව ඇතුළු ලොව පුරා විසිරී සිටින සමස්ත වැඩකරන ජනතාවට උපහාර පුද කරමින්, මෙවරත් ජාත්‍යන්තර කම්කරු දිනය අපි අභිමානයෙන් යුතුව සමරන්නෙමු.

මෙවර මැයි දිනය සුවිශේෂී වන්නේ එය ශ්‍රී ලාංකේය සමස්ත වැඩකරන ප්‍රජාවට ගෞරවයක් පිණිස මහජන බලයෙන් ගොඩනැගුණු රජයක් යටතේ සැමරීම හේතුවෙනි.

ශ්‍රමය සඳහා ලැබිය යුතු නිසි ගෞරවය ලබා දීම සහ සියලු වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අප රජයේ මූලික ප්‍රතිපත්තිමය කැපවීමකි.

ඒ අනුව, පවතින සේවාවන් පුළුල් කරමින් සහ වැඩකරන ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා නව වැඩසටහන් ක්‍රියාත්මක කරමින්, සාධාරණ සහ සුරක්ෂිත සේවා පරිසරයක් නිර්මාණය කිරීමට අපි කැපවී සිටිමු.

සියලුම පුරවැසියන් සඳහා සාධාරණ සහ සමාන ප්‍රවේශයන් තහවුරු කිරීම රජයේ මූලික අරමුණකි.

ඒ අනුව, සෑම කෙනෙකුටම ගෞරවනීය වෘත්තීය ජීවිතයක් ගත කළ හැකි පරිසරයක් නිර්මාණය කිරීම අපගේ වගකීමයි.

වැටුප් රහිත ශ්‍රමය හඳුනාගන්නා ජාතික සමාජ ආරක්ෂණ පද්ධතියක් ස්ථාපිත කිරීම සහ එවැනි ශ්‍රමිකයින් සඳහා සමාජ ආරක්ෂණය සහතික කිරීම අප රජයේ ප්‍රමුඛතම කාර්යයන් අතර වේ.

සියලු ශ්‍රමයන් අගය කරන, අයිතිවාසිකම් සුරක්ෂිත වූ සහ සමානත්වය රජයන රටක් ගොඩනැගීම සඳහා එකමුතුව පෙරට යාමේ වැදගත්කම මෙම මැයි දිනයේදී අප යළිත් තහවුරු කළ යුතුය.

සියලු වැඩකරන ජනතාවගේ ශක්තිය හා කැපවීම තුළින්, අප සැමගේ පොදු දැක්ම වන “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන ඉලක්කය ඉතා ඉක්මනින් සපුරා ගැනීමට හැකි වේවායි ප්‍රාර්ථනය කරමි.”

මේ අතර ලෝක කම්කරු දිනයට සමගාමීව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද සුභාශිංසන පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

ඔහු සිය සුභාශිංසන පණිවිඩයෙන් පෙන්වා දෙන්නේ අර්බුධ රැසකින් වැටුණු රට ගොඩනැගිය හැක්කේ, වැඩකරන ජනතාවගේ ශ්‍රමයට නිසි ගෞරවය ලබාදීමෙන් පමණක් බවයි.

“වසර 1886 දී ඇමරිකාවේ චිකාගෝ නුවරින් ඇරඹි ඓතිහාසික කම්කරු අරගලය සිහිපත් කරමින් අද දින සමරනු ලබන ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් මෙරට සමස්ත වැඩ කරන ජනතාව වෙත මාගේ ගෞරවය පිරිනමමි. එදා දහඩිය, කඳුළ සහ ජීවිත පරිත්‍යාගයෙන් දිනාගත් පැය අටේ වැඩ මුරය සහ මානුෂීය සේවා කොන්දේසි යනු ශ්‍රමික අභිමානයේ පදනම වන අතර එම ඓතිහාසික ජයග්‍රහණය අදටත් ලොව පුරා වැඩ කරන ජනතාවට අසාධාරණයට එරෙහිව නැගී සිටීමට මහා ශක්තියක් ලබා දී තිබේ. ශ්‍රී ලාංකේය ඉතිහාසය දෙස බැලීමේ දී ද මෙරට ආර්ථිකයේ ජීව රුධිරය වන කම්කරු ජනතාව තමන්ගේ අයිතිවාසිකම් සහ ප්‍රජාතන්ත්‍ර වාදය වෙනුවෙන් කළ කැප කිරීම් අප සැමවිටම ගෞරවයෙන් යුතුව අගය කළ යුතුය.

මෙවර මැයි දිනය සමරන මේ මොහොතේ ශ්‍රී ලංකාවේ වැඩ කරන ජනතාව මුහුණ දෙමින් සිටින්නේ ඉතිහාසයේ දරුණුතම ආර්ථික සහ දේශපාලන අර්බුදයකට බව අප අමතක නොකළ යුතුය. වත්මන් රජයේ අදුරර්දර්ශී පාලනය සහ අසාධාරණ බදු ප්‍රතිපත්ති හේතුවෙන් ජීවන වියදම අහස උසට නැඟ ඇති අතර ඒ නිසා සාමාන්‍ය ජනතාවගේ පරිභෝජන හැකියාව මුළුමනින්ම බිඳ වැටී ඇත. ආයෝජන දිරි ගැන්වීමේ සහ ආර්ථික ප්‍රතිසංස්කරණවල නාමයෙන් පවතින කම්කරු නීති ලිහිල් කරමින් ශ්‍රමිකයාගේ රැකියා සුරක්ෂිත භාවය සහ අයිතිවාසිකම් කප්පාදු කිරීමට රජය දරන උත්සාහයන් අපි දැඩි ලෙස හෙළා දකිමු. අයිතීන් ඉල්ලා හඬ නඟන වෘත්තීය සමිති සහ ශ්‍රමිකයන් මර්දනය කරමින් ගෙන යන මේ ගමන වහාම නැවැත්විය යුතු බව අප අවධාරණය කරමු.

අර්බුධ රැසකින් වැටුණු රට ගොඩනැගිය හැක්කේ වැඩ කරන ජනතාවගේ ශ්‍රමයට නිසි ගෞරවය සහ සම අවස්ථා ලබා දෙන පාලනයක් තුළින් පමණි. මර්දනයට එරෙහිව එවන් පාලනයක් වෙනුවෙන් සහ යුක්තිය වෙනුවෙන් අප එක්ව පෙළ ගැසිය යුතුය.

රටේ ආර්ථිකයේ ජීවනාලිය වන ශ්‍රමිකයා යනු යන්ත්‍රයක් ලෙස නොව රටේ සංවර්ධනයේ සැබෑ සම කොටස්කරුවකු ලෙස සලකන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී’ මානුෂීය ආර්ථික වැඩපිළිවෙළක අවශ්‍යතාව අප රටට අවශ්‍ය වී තිබේ. එහිදී ජීවන වියදමට සරිලන විද්‍යාත්මක වැටුප් ක්‍රමවේදයක් හඳුන්වා දීමටත්, පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ සේවක සුරක්ෂිත භාවය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව තහවුරු කිරීමටත් අප කැපවිය යුතුය. එසේම පීඩිත පන්තියේ බඩගින්න සහ වේදනාව හඳුනන ඔවුන්ගේ ශ්‍රමයට නිසි ගෞරවය දෙන පාලනයක් රටේ ස්ථාපිත විය යුතුය. ඒ වෙනුවෙන් වන ජනතාවාදී අරගලය සඳහා සියලු වැඩ කරන ජනතාවට අත්වැල් බැඳගන්නා ලෙස ආරාධනා කර සිටිමි”.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *