Loading...

ඉරානය සමඟ දෙසතියක සටන් විරාමයකට සූදානම් – ට්‍රම්ප්

ඉරානය සමඟ සති දෙකක කාල සීමාවකට සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබෙනවා.

සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කළා.

මෙම සටන් විරාමය ක්‍රියාත්මක කිරීම සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රධාන කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා.

එහි ප්‍රධාන කොන්දේසිය වන්නේ හොර්මුස් සමුද්‍ර සන්ධිය සම්පුර්ණයෙන්ම වහාම සහ ආරක්ෂිතව විවෘත කිරීමට ඉරානය එකඟ විය යුතු වනවා.

මෙය දෙපාර්ශවයටම බලපාන දෙපාර්ශවික සටන් විරාමයක් ලෙස හඳුන්වා දී ඇති බව සඳහන්.

මෙහිදී අමෙරිකාව විසින් ඉරානයට එල්ල කරන ප්‍රහාර සහ බෝම්බ හෙළීම සති දෙකක කාලයකට අත්හිටුවීමට යෝජනා කර තිබෙනවා.

මේ අතර ඉරානයට එරෙහිව ප්‍රහාර නතර කළහොත් තමන් සටන් විරාමයකට එකඟ වන බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසනවා.

ඔහු සඳහන් කරන්නේ සති දෙකක කාලයක් සඳහා හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ආරක්ෂිතව ගමන් කිරීමට හැකි වනු ඇති බවයි.

ප්‍රහාර නතර කරන්නේ නම් ඉරාන සන්නද්ධ හමුදා ද ඔවුන්ගේ ආරක්ෂක මෙහෙයුම් නවත්වන බවට ද අබ්බාස් අරග්චි පවසනවා.

මේ අතර ඉරානයේ උත්තරීතර ආරක්ෂක කවුන්සිලය විසින් පාකිස්ථානය හරහා අමෙරිකාවට කරුණු 10කින් යුත් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව ඉරානය සහ එක්සත් ජනපදය අතර ද්වි පාර්ශවික සාකච්ඡා අප්‍රේල් 10 වනදා සිට පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නගරයේ දී පැවැත්වීමට නියමිතයි.

සටන් විරාමයට ඉරානයෙන් ලබාදුන් කරුණු 10

1. ඉරාකය, ලෙබනනය සහ යේමනයට එරෙහි යුද්ධය සම්පූර්ණයෙන් නැවැත්වීම.

2. කාල සීමාවක් නොමැතිව ඉරානයට එරෙහි යුද්ධය සම්පූර්ණයෙන් සහ ස්ථිරව නැවැත්වීම.

3. කලාපයේ සියලුම ගැටුම් සම්පූර්ණයෙන්ම අවසන් කිරීම.

4. හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම.

5. හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික කටයුතුවල නිදහස සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා නිල විධිමත් ක්‍රියාවලියක් සහ කොන්දේසි ස්ථාපිත කිරීම.

6. ඉරානය ප්‍රතිසංස්කරණය සඳහා යන වියදම් පියවා ගැනීමට වන්දි ගෙවීම.

7. ඉරානයට පනවා ඇති සම්බාධක සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට පූර්ණ කැපවීම.

8. එක්සත් ජනපදය රඳවාගෙන ඇති ඉරාන අරමුදල් සහ වත්කම් නිදහස් කිරීම.

9. කිසිදු න්‍යෂ්ටික අවියක් සන්තකයේ තබා නොගැනීමට ඉරානයේ සම්පූර්ණ සහතික වීම.

10. මෙම කොන්දේසි අනුමත වූ වහාම සටන් විරාමය ක්‍රියාත්මක වේ.

මේ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සති දෙකක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළද අද (08) අලුයම් කාලයේ ඊශ්‍රායල හමුදාව විසින් ඉරානය වෙත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය ඊශ්‍රායලයේ චැනල් 12 පුවත් සේවය උපුටා දක්වමින් මේ බව වාර්තා කරනවා.

ඉරානය විසින් දිගින් දිගටම ඊශ්‍රායලය වෙත මිසයිල ප්‍රහාර එල්ල කරමින් පවතින පසුබිමක මෙම ප්‍රහාර එල්ල වී තිබෙනවා.

මෙහිදී ඉරානය සතු මිසයිල දියත් කිරීමේ මධ්‍යස්ථාන ප්‍රධාන ඉලක්ක වූ බව සඳහන්.

මේ අතර සටන් විරාමයක් ප්‍රකාශයට පත්කළ පසුබිම අද (08) අලුයම මැදපෙරදිග කලාපය පුරා දැවැන්ත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල වෙමින් පවතිනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ කුවේට්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය සහ සෞදි අරාබිය යන රටවල් පුරා අනතුරු ඇඟවීමේ සයිරන් නාද ඇසෙමින් පවතින බවයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කුවේට් තම ගුවන් සීමාවට ඇතුළු වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මැඩපැවැත්වීමට කටයුතු කරන බව එම රටවල හමුදා මාධ්‍ය හරහා නිවේදනය කර තිබෙනවා.

මේ අතර බහරේනය තම වැසියන්ට ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙස උපදෙස් දී ඇති බව වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ සෞදි අරාබිය සිය අල්-කර්ජ් (Al-Kharj) ප්‍රදේශයට හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *