මැදපෙරදිග යුද ගැටුම් ආරම්භ වීමෙන් අනතුරුව අත්හිටුවා තිබූ ගුවන් ගමන් නැවත ආරම්භ කරමින් පළමු ගුවන් යානය අද (03) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොලෙන් ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙනවා.
කටුනායක ගුවන් තොටුපොළේ ප්රකාශකයෙක් පැවසුවේ Fits Air ගුවන් සේවයට අයත් 8D 821 ගුවන් යානය අද (03) පස්වරු 1.20ට කටුනායක ගුවන් තොටුපොලෙන් ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බවයි.
මෙම ගුවන් යානය තුළ ගුවන් මඟීන් 47 දෙනෙකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 10 දෙනෙක් ගමන් ගෙන සිටි බව වාර්තා වනවා.
මේ අතර Air Arabia ගුවන් සේවයට අයත් G-9509 දරන ගුවන් යානය අද (03) සවස 4.45ට කටුනායක ගුවන් තොටුපොලෙන් සාජා නුවර බලා පිටත්ව ගොස් තිබෙනවා.
මෙම ගුවන් යානය තුළ ගුවන් මඟීන් 44 දෙනෙකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩල 10 දෙනෙකු ගමන් කර ඇති බව සඳහන්.
සීමිත කාල සීමාවක් සඳහා මැදපෙරදිග ගුවන් කලාපය විවෘත වන අතර එම කාල සීමාවේ දී මෙම ගුවන් යානා මැදපෙරදිග වෙත පියාසර කරන බව වාර්තා වනවා.
එළැඹෙන දිනවලදී මැදපෙරදිග කලාපයේ අනෙක් ගුවන් ගමන් ද ක්රියාත්මක වීමේ ප්රවනතාවයක් ඇති බවද තොරතුරු සඳහන් වනවා.
මේ අතර ජෝර්දානය විසින් එරට ගුවන් කලාපය නැවත විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.
පසුගිය සඳුදා රාත්රීයේ සිට ක්රියාත්මක වූ ගුවන් කලාපය අර්ධ වශයෙන් වසා තැබීමේ තීරණය මෙලෙස ඉවත් කර ඇති බව සඳහන්.
එරට ගුවන් අධිකාරිය පවසන්නේ සියලුම අදාළ පාර්ශ්වයන් සමඟ එක්ව සිදු කරන ලද ගැඹුරු අවදානම් තක්සේරුවකින් පසුව මෙම තීන්දුව ගෙන ඇති බවයි.
කලාපීය ගැටුම් උග්ර වීම සමඟ ආරක්ෂක පියවරක් ලෙස ජෝර්දානය සිය ගුවන් කලාපය තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබුණා.








Leave a Reply