Loading...

අල්ලස් කොමිසමේ වැටලීම් 3කින් පුද්ගලයින් 7 දෙනෙක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන සංස්ථාවට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලියක් සම්බන්ධයෙන් රජයට රුපියල් මිලියන 41ක පාඩුවක් සිදුකළ බවට චෝදනා මත තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේ, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන සංස්ථාවේ විශ්‍රාමික ප්‍රධාන ඉංජිනේරුවරයෙකු, එම සංස්ථාවේ යාන්ත්‍රික ඉංජිනේරුවරයෙකු සහ පෞද්ගලික ආයතනයක සහකාර කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

2016 සිට 2018 කාලය තුළ ක්‍රියාත්මක වූ “පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන – පුනරුදය” යටතේ වකරවලපිටිය කසළ අංගනය සඳහා Long Arm Excavator යන්ත්‍ර දෙකක් මිලදී ගැනීමේදී මෙම අක්‍රමිකතා සිදුව ඇති බව සඳහන් වේ.

තෝරාගත් ආයතනය විසින් ආනයනය කළ යන්ත්‍රවල කොටස් වෙනස් කර නවීකරණය කර සැපයීම සහ නිසි පරීක්ෂාවකින් තොරව ඒවා භාරගැනීම හේතුවෙන් රජයට රුපියල් මිලියන 41ක පාඩුවක් සිදු වී ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

සැකකරුවන් පෙබරවාරි 10 වනදා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර ඇත.

මේ අතර රුපියල් පනස් දහසක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගැනීමේ චෝදනා මත දෙහිඅත්තකණ්ඩිය කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන් දෙදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් අය අතර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු සහ ගුරු උපදේශකවරයෙකු ඇතුළත් වේ.

දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව, සේවය අතහැර ගිය ඔහු නැවත සේවයේ පිහිටුවා ගැනීමට සහ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලබාදී තිබූ අනුයුක්තිය දීර්ඝ කර ගැනීමට අවශ්‍ය කටයුතු කරදීමට රුපියල් 50,000ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

සැකකරුවන් පෙබරවාරි 10 වනදා පස්වරු 3.25ට සහ 3.45ට පමණ දෙහිඅත්තකණ්ඩිය කලාප අධ්‍යාපන කාර්යාලය තුළදී අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරීවරයෙකු සහ ව්‍යාපාරිකයෙකු දූෂණ චෝදනා මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොමිෂන් සභාව සඳහන් කළේ, පාරිභෝගික හා වත්කම් කළමනාකරණ තනතුර ආවරණ කරමින් කටයුතු කළ අතිරේක සාමාන්‍යාධිකාරීවරයෙකු සහ ගම්පහ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

චෝදනා අනුව, මණ්ඩලයේ සභාපතිවරයාගේ පරිහරණය සඳහා රජයේ වාහන දෙකක් තිබියදීත්, මහනුවර උතුර පාතදුම්බර ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ කොන්ත්‍රාත් මුදල් භාවිත කරමින් ටොයෝටා ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් කුලී පදනම මත ලබාගෙන තිබේ.

එම වාහනය කුමන කටයුත්තකට භාවිත කළාද යන්න පිළිබඳ තහවුරු කිරීමකින් තොරව, රුපියල් 12,750,000ක පමණ මුදලක් කුලී ලෙස ගෙවීමට කටයුතු කිරීමෙන් රජයට පාඩුවක් සිදුකර ඇති බවට චෝදනා එල්ල වී ඇත.

එමෙන්ම, ප්‍රසම්පාදන ක්‍රියාවලියේ නීති නොසලකා හරිමින් වාහනය සපයා ගැනීම සඳහා ආයතනයක් වෙත කොන්ත්‍රාත්තුව පිරිනමමින්, වාහනය නිසි ලෙස භාර නොගෙන මුදල් ගෙවීම හරහා සැපයුම්කරුට අයුතු වාසියක් ලබාදීම සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වී තිබේ.

සැකකරුවන් පෙබරවාරි 10 වනදා පස්වරු 1.35ට පමණ අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් පෙබරවාරි 20 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *