Loading...

,

ඛනිජ තෙල් සංස්ථාව ඉන්දියාවෙන් සහ චීනයෙන් තෙල් ගැනීමට සාකච්ඡා අරඹයි

ගල්ෆ් ප්‍රදේශයේ ව්‍යාප්තව යන ගැටුම් තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී ඉන්ධන අර්බුදයක් ඇතිවිය හැකි බවට ඇති අවධානම සැලකිල්ලට ගනිමින්, රජය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හරහා ඉන්දියාව සහ චීනය සමඟ තෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

ඩේලි මිරර් පුවත්පත ඛනිජ තෙල් සංස්ථාවේ ප්‍රකාශකයෙකුගෙන් සිදුකළ විමසීමකදී මේ බව සඳහන් කර ඇත.

ඔහු එහිදී පවසා ඇත්තේ ලෝක වෙළඳපොළේ ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් හදිසි අර්බුදයක් ඇතිවිය හැකි අවස්ථාවකදී අවශ්‍ය තෙල් මිලදී ගැනීම් සිදු කිරීම සඳහා මෙම සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.

එම මිලදී ගැනීම් රජය – රජය අතර සිදුකරන ගිවිසුම් මත සිදුවන බවද එම ප්‍රකාශකයා පවසනවා.

මැදපෙරදිග ගැටුම් තත්ත්වය හේතුවෙන් සඳුදා දින ලෝක වෙළඳපොළේ තෙල් මිල බැරලයකට ඇමරිකානු ඩොලර් 120කට ආසන්නව ඉහළ ගිය අතර, ඊයේ වනවිට එය ඩොලර් 93 පමණ දක්වා පහත වැටී තිබුණා.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානය සම්බන්ධ යුද්ධය “ඉතා ඉක්මනින් අවසන් වනු ඇත” යැයි ප්‍රකාශ කිරීමත් සමඟ තෙල් මිල පහත වැටීමක් දක්නට ලැබුණා.

එහෙත්, කිසිදු හදිසි තත්ත්වයක් ඇති වුවහොත් එයට මුහුණ දීමට ශ්‍රී ලංකාව සූදානම් වීමට පියවර ගනිමින් සිටින බව ඛනිජ තෙල් සංස්ථාව පවසනවා.

අනපේක්ෂිත ලෙස ඉන්ධන මිල සංශෝධනයක් සිදු කළේ ඇයිද යන්න පිළිබඳව අදහස් දක්වමින්එම සංස්ථාවේ ප්‍රකාශකයා පවසන්නේ හේතු දෙකක් නිසා එය සිදු කළ බවයි.

එනම් ඉදිරියේදී සිදුවිය හැකි මිල වැඩිවීම් සලකා බලමින් ඉන්ධන ඉල්ලුම අඩු කිරීම සහ ඊළඟ මාසික මිල සංශෝධනයේදී විශාල මිල වැඩිවීමක් ඇතිවීම වැළැක්වීම යන කරුණු ඊට හේතු වී තිබුණා.

“දැන් මිල වැඩි නොකරන්නේ නම්, ඊළඟ සංශෝධනයේදී විශාල ලෙස මිල වැඩි කිරීමට සිදුවනු ඇත. එය ජනතාවට දැඩි ආර්ථික බරක් වන අතර අනෙකුත් භාණ්ඩවල මිල ද ඉහළ යාමට හේතු විය හැක,” එම ප්‍රකාශකයා පවසනවා.

තවද වර්තමාන ඉන්ධන මිල 2024 සැප්තැම්බර් මාසයට පෙර පැවති මිලවලට වඩා තවමත් අඩු බවද ඔහු සඳහන් කරනවා.

එම ප්‍රකාශකයා පවසන්නේ එබැවින් බස් හා ත්‍රීරෝද රථ ගාස්තු වැඩි කිරීමට තාර්කික හේතුවක් නොමැති බවයි.

මැදපෙරදිග ගැටුම් තත්ත්වය උත්සන්න වීමත් සමඟ, ඇමරිකාව සහ ඉස්රායෙලය විසින් සිදු කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානය ලෝකයේ තෙල් සැපයුමේ සියයට 20කට ආසන්න ප්‍රමාණයක් ගමන් කරන හෝර්මුස් සමුද්‍ර සන්ධිය අවහිර කර ඇති බවද වාර්තා වනවා.

මේ අතර ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහත දැමීම සඳහා බොරතෙල් බැරල් මිලියන 400ක වාර්තා ගත සංචිතයක් මුදා හැරීමට ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ සාමාජික රටවල් එනම් G7 රටවල් ඊයේ (11) ඒකමතිකව තිබුණා.

කෙසේ වෙතත් එවැනි තීන්දුවක් ගැනීමේ පසුබිමක ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල ඩොලර් 100 දක්වා ඉහළ ගියා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *