Loading...

වැරදි කරන කිසිම නිලධාරියෙක් පොලීසිය ආරක්ෂා කරන්නේ නෑ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

කිසිදු නිලධාරියෙකු විශේෂයෙන් ආරක්ෂා කිරීම සඳහා පොලීසිය කිසිවිටෙකත් කටයුතු නොකරන බවත්, යම් නිලධාරියෙකු වැරදි නම්, අනීතික නම්, සමාජ විරෝධී නම් හෝ නීතිවිරෝධී කටයුත්තකට සම්බන්ධ වන්නේ නම් ඔවුන්ට එරෙහිව නීත්‍යානුකූලව මෙන්ම විනයානුකූලව දැඩිව කටයුතු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පවසනවා.

“රටම එකට” ජාතික මෙහෙයුමේ ප්‍රගතිය පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා අද (29) පැවැති මාධ්‍ය හමුවේදී, පසුගිය දිනවල පොලිස් අත්අඩංගුවේ සිටියදී සැකකරුවන් මියයාම සහ තුවාල ලැබීමේ සිදුවීම් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා.

ඔහු පවසන්නේ හෝමාගම සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය මේ වන විට පූර්ණ විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්, පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ බස්නාහිර පළාත් දකුණු කොට්ඨාශයේ විශේෂ කණ්ඩායමකට එම විමර්ශන පවරා ඇති බවත්ය.

මෙම සිදුවීමට සම්පූර්ණයෙන්ම වගකිව යුතු පාර්ශ්වයන්ට එරෙහිව පියවර ගනිමින් හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා, අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා, මත්ද්‍රව්‍ය අංශයේ ස්ථානාධිපතිවරයා (Vice OIC) සහ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

එමෙන්ම, සිදුකළ විමර්ශන ප්‍රතිඵල මත මෙම මරණය සම්බන්ධයෙන් එක් උප පොලිස් පරීක්ෂකවරයෙකු (SI) අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුට එරෙහිව ඉදිරි නෛතික කටයුතු ක්‍රියාත්මක කෙරෙනු ඇති.

ඇතැම් නිලධාරීන්ගේ නොසැලකිල්ල නිසා මෙවැනි අවාසනාවන්ත සිදුවීම් සිදුවන බවත්, මින් ඉදිරියට එවැනි දේ වළක්වා ගැනීමට දැඩි පියවර ගන්නා බවත් වුට්ලර් මහතා මෙහිදී අවධාරණය කළා.

මේ අතර, කොබේගනේ පොලිස් භාරයේ සිටියදී රෝහල්ගත කිරීමෙන් පසු සැකකරුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ, ගස් බැඳ සිටි අයෙකු පිළිබඳව ලැබුණු තොරතුරක් මත පොලීසිය ගොස් අත්අඩංගුවට ගත් සැකකරු අසනීප තත්ත්වයක් හේතුවෙන් කුරුණෑගල රෝහලට ඇතුලත් කිරිමේදී මියගොස් ඇති බවයි.

අදාළ අවස්ථාවේදී සැකකරුට පහරදුන් බවට ලැබුණු තොරතුරු මත සිවිල් වැසියන් තිදෙනෙකු ද අත්අඩංගුවට ගෙන විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

එමෙන්ම, ත්‍රිකුණාමල පොලිස් භාරයේ සිටි සැකකරුවන් තිදෙනෙකුට සිදුව ඇති කැපුම් තුවාල සම්බන්ධයෙන් කොට්ඨාශ භාර නිලධාරියාගෙන් වාර්තාවක් කැඳවා ඇති බවත්, එය ලැබුණු පසු ඉදිරි කටයුතු දැනුම් දෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *