ගල් පෙරළීමක් හේතුවෙන් කඩුගන්නාව ප්රදේශයෙන් තාවකාලිකව වසා දැමූ කොළඹ – නුවර ප්රධාන මාර්ගය අද (04) පෙරවරු 6 සිට යළි ගමනාගමනය සඳහා විවෘත කර තිබෙනවා.
ඊයේ (03) පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පහළ කඩුගන්නාව ප්රදේශයේ ගල් පෙරළීමක් සිදුවීමෙන් ගනේතැන්න සහ කඩුගන්නාව අතර මාර්ග කොටස තාවකාලිකව වසා දැමීමට පොලීසිය කටයුතු කළා.
පසුව කාලගුණික තත්ත්වය යහපත් වීමත් සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිර්දේශ අනුව මාර්ගය යළි ගමනාගමනය සඳහා විවෘත කර තිබෙනවා.
අයහපත් කාලගුණයෙන් මරණ 6ක් – එක් අයෙකු අතුරුදන්
සබරගමුව පළාතට මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවලට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් එක් අයෙකු අතුරුදන්ව තිබෙනවා.
මොරහේනේගම ප්රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබෙනවා. මියගිය පිරිස අතර එම නිවසේ පදිංචි 47 සහ 83 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකු මෙන්ම මාතලේ සිට පැමිණි 22 සහ 58 හැවිරිදි ඥාතීන් දෙදෙනෙකු ද වනවා.
එමෙන්ම නාවලපිටිය සෝලංකන්ද ප්රදේශයේ වෙළෙඳසැලක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් 67 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, වටවල ඥානානන්දගම ප්රදේශයේ මහවැලි ගඟ හරහා ඇති පාලම මතින් ගමන් කරමින් සිටි 53 හැවිරිදි පුද්ගලයෙකු ගඟට වැටී දියේ ගිලී මියගොස් තිබෙනවා.
මේ අතර, ගිනිගත්හේන අඹගමුව ප්රදේශයේ ජලයෙන් යටවූ මාර්ගයක ගමන් කරමින් සිටි 45 හැවිරිදි පුද්ගලයෙකු ජල පහරකට හසුව ගසාගෙන ගොස් අතුරුදන්ව ඇති බව පොලීසිය සඳහන් කළා.







Leave a Reply