Loading...

කැබිනට් සාමාජිකයින්ගේ සාක්ෂි නිසා කෙහෙළිය කොටුවෙයි ද?

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමට ව්‍යාජ කරුණු ඇතුළත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කැබිනට් මණ්ඩලයේ සාමුහිකව විශ්වාසය කඩකර ඇති බව නීතිපතිවරයා ඊයේ (29) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

එම කැබිනට් පත්‍රිකාව පිළිබඳව එවක කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දුන් ප්‍රකාශ ඔස්සේ මේ බව තහවුරු වන බවයි නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය අධිකරණයට කියා සිටියේ.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමට අදාළ නීති කෘත්‍යය මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ දී ඊයේ (29) යළි කැඳවනු ලැබුවා.

මෙහිදී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මෙම නඩුවේ පළමු සැකකරු වන සුදත් ජනක ප්‍රනාන්දු සහ ඇප මත මුදා හැර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රමුඛ සෙසු සැකකරුවන් 10 දෙනා ද අධිකරණයේ හමුවේ පෙනී සිටියා.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දීම පිළිබඳව එවක කැබිනට් මණ්ඩල සාමාජිකයින්ගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලබාගත් ප්‍රකාශවල සම්පිණ්ඩන වාර්තාවක් රජයේ නියෝජ්‍ය ජනරාල්වරිය අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

“ස්වාමිනි, හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සිය ප්‍රකාශයෙන් කියා තිබෙනවා, කැබිනට් පත්‍රිකාවක් සකස් කිරීමේදී එහි ඇතුළත් කරුණු තහවුරු කළ හැකි ලේඛන ඉදිරිපත් කිරීම අමාත්‍යාංශ ලේකම්වරයාගේ වගකීම කියලා. ඒ වගේම අදාළ කැබිනට් පත්‍රිකාව පිළිබඳ අමාත්‍යවරයා සෑහිමකට පත්වෙනවා නම් පමණක් එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු බවටත්. එවැනි පසුබිමකයි ස්වාමිනි ව්‍යාජ ඖෂධ හිඟයක් මවාපාමින්, අවශ්‍ය ඖෂධ මොනවාද යන්න හෝ සඳහන් නොකර මෙය කෙහෙළිය රඹුක්වැල්ල විසින් ඉදිරිපත් කර තිබෙන්නේ.

ඒ වගේම ස්වාමිනි අප, හිටපු අමාත්‍යවරුන්ගෙන් විමසීමක් කළා කුමන පදනමකින්ද මෙම කැබිනට් පත්‍රිකාවට අවසර දුන්නේ කියලා. ඔවුන් සියලුදෙනා පොදුවේ කියූ කරුණක් තමයි එම හදිසි ඖෂධ මිලදීගැනීමට අවසර නොදුනහොත් සතියකින් මෙරට සෞඛ්‍ය පද්ධතිය කඩාවැටිය හැකි බව කැබිනට් පත්‍රිකාවේ සඳහන් වූ බැවින්, ඊට අවසර දුන් බව. එසේම අවශ්‍ය ඖෂධ මොනවාද යන්න හෝ කැබිනට් පත්‍රිකාවේ සඳහන් නොවු පසුබිමක හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කරන්නේ සත්‍ය කරුණු බව අමාත්‍ය මණ්ඩලය විශ්වාස කළ බවද ඔවුන් සිය ප්‍රකාශවලින් කියා තිබෙනවා.

හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රකාශයේ සඳහන් වනවා, අදාළ ඖෂධ මිලදී ගැනීමේදී නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව සිදුකරන බව හෝ ප්‍රමිතියෙන් තොර ඖෂධ මිලදී ගන්නා බව දැන සිටියානම් කිසිසේත්ම ඊට අවසර නොදෙන බව. එබැවින් මෙම කරුණු මත හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ව්‍යාජ ඖෂධ හිඟයක් මවාපාමින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම තුළ කැබිනට් මණ්ඩලයේ සාමුහික විශ්වාසය කඩකර ඇති බව පැහැදිලි වෙනවා”


ඉදිරිපත් වූ කරුණු සලකා බැලු මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම මහත්මිය රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ප්‍රශ්නගත ඖෂධ සැපයූ සැපයුම්කරු දෙසැම්බර් 13 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ අතර, පෙබරවාරි 21 වැනිදා නඩුව යළි කැඳවීමට නියමිතව තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *