ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින වංචානිකයින් සහ දුෂිතයින් පන්නා දමා ඉදිරියේ දී පක්ෂය පිරිසිදු කරන බව එම පක්ෂයේ වැඩ බලන සභාපති අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ පැවති සංහිඳියා වැඩසටහනකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“දේශපාලන පක්ෂ කාටවත්ම අධිකරණ අස්සේ හිර කරන්න බැහැ. මෙතෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන වචනයක්වත් නොකියපු බොහෝ දෙනා මම නායකත්වය භාර ගත්තට පස්සේ හුඟක් බය වෙලා දඟලනවා. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ 99%ක පිරිසක් ඒ වගකීම මට භාරදීලා තියෙන්නේ විශේෂයෙන් ම ඒ අයට අවශ්‍යයි මේ පක්ෂය සුද්ධ කරන්න. කාලාන්තරයක් තිස්සේ අල්ලස් – කොමිස් ගනිමින්, පගා ගහමින් පක්ෂයේ තනතුරු නාමය භාවිත කරමින් නොයෙකුත් දූෂිත වැඩ කරමින් මේ පක්ෂය කාබාසිනියා කළ කණ්ඩායම මෙතැනින් ඉවත් කරලා දෙන්න කියලා තමයි මගෙන් පාක්ෂිකයෝ ඉල්ලන්නේ.
ඒ වගකීම මම භාර ගත්තා. ඉදිරියේදී වංචනිකයෝ, දූෂිතයෝ ටික නෙරපා දමා පිරිසුදු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් නිර්මාණය කරනවා. මැතිවරණවලදී අධිකරණ දෙන කුමන නියෝග තිබුණත් මැතිවරණවලට තරග කරන විට ජයග්‍රහණය සඳහා අපි ඉදිරියට කටයුතු කරමින් යනවා.
ත්‍රස්ත ප්‍රහාරයක් සම්බන්ධයෙන් 2016 නොවැම්බර් මාසේ 18 වන දා මම පාර්ලිමේන්තුවේදී හෙළිදරව්වක් කළේ සිදුවීමට නියමිතව තිබූ ඒ ව්‍යසන, මිනීමැරීම් වළක්වා ගැනීමට පියවර ගන්නා ලෙස ඉල්ලමින්. නමුත් මම හෙළිදරව් කළ දේ පිළිබඳ ඇත්ත සොයා ගැනීමට කවුරුවත් උනන්දු වුණේ නැහැ. ඒකෙ ප්‍රතිඵලය තමයි මේ අපි භුක්ති වින්දේ.”








Leave a Reply