Loading...

විමල් අධිකරණයට අපහාස කිරීමේ සිද්ධියට අදාළ වීඩියෝ දර්ශන විමර්ශකයින් අතට

විමල් වීරවංශ මහතා අධිකරණයට අපහාස කිරීමේ සිදුවීමට අදාළ සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශයට දැනටමත් ලැබෙමින් පවතින බව නීතිපතිවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා වෙත අද (29) දැනුම් දුන්නා.

නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ජනක බණ්ඩාර මහතායි මෙම කරුණු අනාවරණය කළේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශය පුළුල් විමර්ශනයක් සිදුකරන බවත්, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ අංක 02 වෙත ඊට අදාළව කරුණු වාර්තා කර ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙහිදී අධිකරණයට ප්‍රකාශ කර සිටියා.

එමෙන්ම මෙම විමර්ශන කටයුතු සාර්ථකව පවත්වාගෙන යාම සඳහා, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබාදුන් නියෝගයේ පිටපතක් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත ලබාදෙන ලෙස ද නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණයෙන් විශේෂ ඉල්ලීමක් කළා.

එම ඉල්ලීමට ක්ෂණික අවසරය ලබාදුන් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, අදාළ නියෝගයේ පිටපතක් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත වහාම ලබාදෙන ලෙසට අධිකරණ රෙජිස්ට්‍රාර්වරියට නියෝග කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් අධිකරණය ලබා දුන් අදාළ නියෝගය පිළිබඳව, විමල් වීරවංශ මහතා විසින් ඉකුත් සැප්තැම්බර් 12 වැනිදා අනුරාධපුරයේ පැවැති පොදු පෙරමුණු රැස්වීමකදී කරන ලද ප්‍රකාශය මගින් අධිකරණයට අපහාසයක් සිදුවී ඇත්දැයි සොයා බලන බව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා මීට පෙර පැවැති නඩු දිනයේදී ද අධිකරණය හමුවේ තහවුරු කර තිබුණා.

එම ප්‍රකාශයට අදාළ වීඩියෝ දර්ශන ලබාගැනීම සඳහා මාධ්‍ය ආයතන 07ක් වෙත අධිකරණයෙන් විශේෂ නියෝග නිකුත් කර තිබූ අතර, අදාළ මාධ්‍ය ආයතන විසින් සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත මේ වන විට ලබාදෙමින් පවතින බවයි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණයට වැඩිදුරටත් දැනුම් දුන්නේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *