Loading...

සිසුන්ගේ ආරක්ෂාව ගැන විශ්ව විද්‍යාල වගකීමෙන් කටයුතු කළ යුතුයි – අග්‍රාමාත්‍ය

විශ්ව විද්‍යාලවලට ඇතුළත් වන දරුවන්ගේ ආරක්ෂාව, සුබ සාධන පහසුකම් සැපයීම සහ ඉගෙනුම් පහසුකම් සම්බන්ධව විශ්ව විද්‍යාල වගකීමෙන් කටයුතු කළ යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති අතුළු අධ්‍යයන, අනධ්‍යය සේවකයින් අචාර්ය මණ්ඩලය සහ සිසුන් සමග අද (03) යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චි මණ්ඩපයේ පැවති සාකච්ඡාවකදීයි.

විශ්ව විද්‍යාලයේ සිසුන් මුහුණ දෙන නේවාසික පහසුකම්, ජලය, විදුලිය ඇතුළු සුභසාධන පහසුකම් පිළිබඳව මෙහිදී අග්‍රාමාත්‍යතුමියගේ අවධානය යොමුව තිබෙනවා.

“උසස් පෙළ සමත්වෙලා වසරකට සිසුන් 40,000ක් රජයේ විශ්ව විද්‍යාලවලට ඇතුළත් වෙනවා. ඒ දරුවන්ගේ ආරක්ෂාව, සුභසාධනය සහ ඉගෙනුම් පහසුකම් නිසි පරිදි ලබාදීමට විශ්වවිද්‍යාල වගකීමෙන් කටයුතු කළ යුතුයි.

සාම්ප්‍රදායික උපාධියක් ලබාගෙන විශ්වවිද්‍යාලයෙන් පිටවන දරුවට අනාගත ජීවිතය පිළිබඳ විශ්වාසයක් ඇතිවිය යුතුයි. ඒ වගේම විශ්ව විද්‍යාල ගුණාත්මක ලෙස පශ්චාත් උපාධිය ලබා දෙන පර්යේෂණ ආයතනයක් ලෙස සංවර්ධනය කිරීම ඉතා වැදගත්.

විශ්වවිද්‍යාල තුළ දරුවන්ට සිදුවන විවිධ හිරිහැර, ලිංගික අඩත්තේට්ටම්, අපරාධ, බලපෑම් වගේම ප්‍රචණ්ඩත්වය වහාම නතර විය යුතුයි. ඒ වෙනුවෙන් රජය විදිහට ගතහැකි උපරිම ක්‍රියාමාර්ග ගන්න අපි සූදානම්.

විශ්වවිද්‍යාල දරුවන් විනයක් ඇතිව තමන්ට ලැබෙන නිදහස භුක්ති විඳින්න කටයුතු කිරීමත් වැදගත්, නමුත් ඔවුන්ගේ නිදහස අනවශ්‍ය ලෙස සීමා කිරීම සුදුසු නෑ.

අපේ විශ්වවිද්‍යාල පද්ධතියේ පීඨ, සහ පහසුකම් විවිධ අයුරින් වර්ධනය කරනවා අපි දකිනවා නමුත් දරුවන්ට තමන්ගේ ඉගෙනීම් කටයුතු කරගෙන යාමට අදාල පීඨ වල පහසුකම් තියෙනවද කියන ප්‍රශ්නය තිබෙනවා.

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ ආරකෂාව සහ පානීය ජල ගැටලුව සඳහා කඩිනමින් පියවර ගන්න අවශ්‍යයි. “


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *