රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇතිවූ භූකම්පනය හේතුවෙන් අමෙරිකාවට අයත් හවායි දූපත් සහ ඇලෙස්කා කලාපවලට ද සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ සමස්ථ හවායි දිවයිනටම සුනාමි බලපෑම් එල්ලවීමේ අවදානම හේතුවෙන් වෙරළාසන්න කලාප මඟහැර ජනතාව උස් බිම් වෙත යොමු කර ඇති බවයි.
ඊට අමතරව චීනයට, පේරු රාජ්‍යයට සහ ඉක්වදොරයට ද සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
බටහිර අමෙරිකානු වෙරළ තීරයට මෙන්ම අමෙරිකාවට අයත් ගුවාම් සහ මයික්‍රොනිසියාවේ හි ඇතැම් දුපත්වලට ද සුනාමි බලපෑම් එල්ල වනු ඇතැයි අපේක්ෂාව කරනවා.
රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයට ඇතිවූ රික්ටර් මාපකයේ ඒකක 8.8ක ප්‍රබලත්වයෙන් යුතු කම්චැට්කා භූකම්පනය, ඉතිහාසයට එක්වන්නේ ලොව එතෙක් මෙතෙක් බලපෑ හයවැනියට ප්‍රබලතම භූකම්පනය ලෙසයි.
භූකම්පනය හේතුවෙන් කම්චැට්කා අර්ධද්වීපට අඩි 13ක් උස සුනාමි රළක් ද ඇති වුණා.
මේ අතර ජපානයට බලපෑ සුනාමි තත්ත්වය හේතුවෙන් ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයට මේ දක්වා කිසිඳු බලපෑමක් සිදුව නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
බලාගාරයේ අධීක්ෂණය කටයුතු සිදුකරන එරට රජයට අයත් ටෝකියෝ විදුලිබල සමාගම හෙවත් ටෙප්පෝ සමාගම ප්‍රකාශ කර ඇත්තේ සියලු කාර්ය මණ්ඩලය මේ වන විට ඉන් ඉවත් කර ඇති බවයි.
තවද බලාගාරයේ තුළ කිසිඳු අසාමාන්‍ය තත්ත්වයක් නොමැති බව ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා.
2011 වසරේ ඇති වූ භුකම්පාවා නිසාවෙන් ඇති වූ සුනාමි තත්ත්වය හේතුවෙන් ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයට දැඩි බලපෑම් එල්ල වුණා.
මේ අතර ජපාන මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ ටෝකියෝවට උතුරින් පිහිටි ෆැසිපික් වෙරළ තීරයේ සෙන්ඩායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි ධාවනය පථය වසා දැමීමට තීරණය කිරීමත් සමග ප්‍රවාහන කටයුතු අඬාල වෙමින් පවතින බවයි.
මේ අතර රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇති වූ භූකම්පනය මේ වන විට ඇලෙස්කාව සහ අමෙරිකාවට අයත් හවායි දුපත් වෙත සුනාමි රළ ඇතුළු වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ හවායි හි ඔආහු දූපතේ වෙරළ තීරයේ හලයිවාහි ජලමට්ටම අඩි 4කට වඩා ඉහළ ගොස් ඇති බවයි.
හවායි ප්‍රාන්තය ඇලෙස්කාවේ ඇලුටියම් දුපත්වල ඇතැම් කොටස් සහ උතුරු කැලිෆෝනියාවේ කොටසක් මේ වන විට සුනාමි අනතුරු ඇඟවීම් යටතේ පවතිනවා.
ඊට අමතරව වඩාත් දැඩි අනතුරු ඇඟවීම එක්සත් ජනපදයේ බටහිර වෙරළ තිරයට නිකුත් කර තිබෙනවා.
සුනාමි රළ මේ වන විට ඇලෙස්කාවට ඇතුළු වී ඇති අතර හවායි දුපත්වලට ද සුනාමි රළ පැමිණීමට පටන් ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
එක්සත් ජනපදයේ බටහිර ප්‍රදේශයේ සෙසු ප්‍රාන්තවලට ඉදිරි පැය කිහිපය තුළ සුනාමි රළ ඇතුළු විය හැකි බවට අපේක්ෂා කරනවා.
මේ සඳහා ජනතාව මේ වන විටත් සුදානමින් සිටින බව විදෙස් වාර්තා සඳහන් කරනවා.
මේ අතර එක්සත් ජනපද සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයෙන් ප්‍රදේශ කිහිපයකට සුනාමි රළ පැමිණීමේ වේලාවන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව ඔරිගන් සහ වොෂින්ටන් සඳහා එරට වේලාවෙන් රාත්‍රි 11.35ට, කැලිෆෝනියාවට රාත්‍රී 11.50ට පමණත් සැන්ෆැන්සිස්කෝ බොක්ක සහ ලොස් ඇන්ජලිස් වරායට අලුයම 12.40ට පමණක් සුනාමි රළ පැමිණෙනු ඇති බවට අපේක්ෂා කරනවා.








Leave a Reply